වඳින්න ගිය දෙවොල සීගිරි කළමනාකරුගේ හිසට වැටේ


මස්කෙළියේ පාසල් සිසුන්  පිරිසක් ලෝක උරුමයක් සීගිරියේ සිංහ පාදයේ  දෙමළ අකුරු කුරුටු ගෑමේ ‘‘සුළු සිද්ධිය‘‘  ලංකාදීප පත්‍රය  බරපතල දෙයක් ලෙස විකෘති පුවතක්  සේ  පළ කිරීමෙන් බරපතල හානියක් සිදු වීයැයි    මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගීරි ව්‍යාපෘති කළමණාකරු චන්දන වීරසිංහ මහතා සීගිරී කටුගෙයි දේශන ශාලාවේදී අද (28)කළ ප්‍රකාශයට විද්වත්හු විරෝධය පළ කළහ.

‘‘සීගීරි පුරා වස්තු සුරැකීමේ සන්නිවේදන කාර්යභාරය‘‘ මැයෙන්  මේ සාකච්ඡාව කැඳවා තිබිණි.

වීරසිංහ මහතා හැඳින්වීමේ කතාවේදී කියා සිටියේ සන්නිවේදන දුර්වලතාව නිසා ලංකාදීප පත්‍රය සුළු දෙයක් විකෘති කිරීමෙන් සීගිරියට ලොකු හානියක් කළ බවයි.

 පැය භාගයකින් එම කුරුටු ගී මකා දැමු බවද ඔහු කීය

ආරාධිත අමුත්තා වුයේ රජරට විශ්ව විද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තිස්ස වීරසේකර මහතායි. ඔහු කියා සිටියේ සීගිරිය ජාතික වස්තුවක් බවයි.එවැනි දෙයක් කුරුටු ගෑම කිසිසේත්ම සුළු දෙයක් නොවන බවත් ලංකාදීප පත්‍රය මුළු ජාතිය වෙනුවෙන්ම සිය සන්නිවේදන කාර්යභාරය මනාව ඉටුකර ඇති බවත් ඔහු කීය. ලංකාදිපය එම කාර්යභාරයට පැසසිය යුතු බවද ඔහු අවධාරණය කළේය. සීගිරියේ  බිතු සිතුවම් සංරක්ෂණ  ශිල්පී  පී. ජී ලලිත් කුමාරසිරි මහතා කියා සිටියේ එම කුරුටු ගෑම් ඉවත් කිරීමට දවස් දෙකක් ගත වු බවයි. නාගලවැව විදුහල්පති ජයරත්න සුරියගොඩ මහතාද සමුළුව ඇමැතීය.‘‘ සිංහ පාදයේ කුරුටු ගෑම මධ්‍යම සංසුකෘතික අරමුදලට ‘‘සුළු දෙයක්‘‘ වෙන්න පුළුවන්. ඒත් අපට ඒක ලොකු ‍ දෙයක් . දැනගත්තෙත් ලංකාදීප පත්‍රය නිසයි. ලංකාදීපයට මුළු රටේම ප්‍රසංශාව හිමි විය යුතුයි. සන්නිවේද දුර්වලතාව ඇත්තේ සංස්කෘතික අරමුදලේ බව පේනවා ඒ දුර්වලකම් හදා ගැනීමයි කළ යුත්තේ.

සීගීරි ව්‍යාපෘති කළමණාකරු චන්දන වීරසිංහ මහතා සාකච්ඡාවෙන් නැඟිට ගියේය.