වන්දනාවේ ගිහින් යළි උපදී


අතේ සතේ නැතිව, හින්දි අකුරක්වත් නොදැන ටිකට් ද නැතිව දුම්රියෙන් ඉන්දියාවේ ගිනිකොන සිට වයඹ දක්වා ගොස් රොටී කමින් මාස දෙක හමාරක් ජීවත් වූ කඹුරුපිටියේ අසූ හැවිරිදි ගොවියෙක් යළිත් දින කිහිපයකට පෙර ගෙදර ආවේය.

අසූවක නඩයක් සමග මීගමු  ආයතනයකින් දඹදිව වන්දනාවේ ගොස් නව දිල්ලියේ සිට චෙන්නායි නුවරට එද්දී කඹුරුපිටියේ ඊ ජී ඩී කොරනේලිස් මහතාට නඩය මග හැරුණේ අන්ද්‍රා ප්‍රදේශයේ වරංගල් දුම්රිය ස්ථානයේදී කාටවත් නොකියා දුම්රියෙන් බැස ගිය නිසාය.

නඩය මගහැරුණු බව දැනගත් ඔහු තවත් දුම්රියකට නැග ගුජරාටයේ අහමදබාද් වෙත ගියේය. දින දෙකක් කෑමක් නැතිව සිටි ඔහු පිළිණු වූ බත් පතක් කන්නට යද්දී එතැන සිටි කතක එය වළක්වා ඔහු අසළ කඩයකට රැගෙන ගොස් කෑම බීම ලබා දුන්නාය.

මාස දෙකහමාරක්ම එම කඩයෙන් කමින් පදික වේදිකාවේ ද, කඩයේද නිදා ගත් ඔහු අන්තිමේදී තමා ළඟ තුබූ දුරකතන අංකයකින් වන්දනා ගමන් සංවිධායකට කතා කළේය. එම ආයතනයේ කතක එහි ගොස් ඔහු රැගෙන ආවේය.

ඒ වන විට  මූලික අවශ්‍යතා සඳහා වන හින්දි වචන කිහිපයක් ද ඔහුට උගන්වා තිබිණි.

''අහමදබාද් මිනිස්සු මට හරියට උදව් කළා. කෑම, බීම ඇඳුම් පැළඳුම් දුන්නා. කවදාවත් මට ඒ උදව් අමතක වෙන්නේ නෑ. ඔවුන් නොසිටියා නම් අද මම නෑ. කෑම කඩේ මුදලාලි මට ඉන්දියා රුපියල් දාහකුත් දුන්නා."