දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් තමන්ට නිසිපරිදි රාජකාරිය කළ නොහැකියැයි පවසමින් පොලිස් සේවයෙන් ඉල්ලා අස්වූ බව ප්‍රකාශකළ වදුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එල්.කීර්තිසිංහ මහතා සේවය හැරගිය බව සඳහන් කරමින් ගාල්ල සහකාර පොලිස් අධිකාරී එල්.ආර්.කුමාරසිරි මහතා සේවය හැරයාමේ නිවේදනයක් අද (02) නිකුත්කළේය.
පොලිස් ස්ථානාධිපතිවරයා නියමිත පරිදි නිවාඩු අනුමත නොකර සේවයට වාර්තාකිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ඔහු සේවය හැරගියා සේ සළකන බව ද එම නිවේදනයේ දැක්වේ.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමක් වෙනුවෙන් වදුරඹ බස්නැවතුම් පොළ අසළ ඉදිකැර තිබූ වේදිකාවකට ගිනි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් රැගෙන යාමේ සිද්ධියෙන් පසු වදුරඹ ස්ථානාධිපතිවරයා තමන් පොලිස් සේවයෙන් ඉල්ලා අස්වන බව මාධ්‍යයට කියා සිටියේය.

