වතු කම්කරුවන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙටින් අවසන්


(රංජිත් රාජපක්ෂ)                       

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු.1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා දින 8 ක් පුරා වතු කම්කරුන් ආරම්භ කර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමර්ගය හෙට (12) අවසන් කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.

 
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු.1000 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමඟ ලබන 19 වැනි දින සාකච්ඡා කර වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවත් වැඩ වර්ජනය හේතුවෙන් ආර්ථිකයට සිදු වෙමින් පවතින පාඩුව හේතුවෙන් වැඩ වර්ජනය අවසන් කරන ලෙස ජනාධිපතිවරයා කල ඉල්ලීමක් හේතුවෙන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හරින බවත් ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තෝණ්ඩමන් මහතා කියා සිටියේ.
 
මෙම සාකච්ඡාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයින් හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාද සහභාගි වී තිබේ.