වත්තල ඝාතනයකට තිදෙනකු අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

වත්තල හේකිත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසකට කඩා වැදි පුද්ගලයකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනකු  අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

ඝාතනය සඳහා යොදා ගත් කඩුහතරක් ද පොලිසිය මගින් සොයාගෙන ඇත.

ඉකුත් මස 19වැනි දින සිදුවූ එම  සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ නිරෝෂන් පර්ඩින් නැන්ඩු නැමැති 43 හැවිරිදි පුද්ගලයෙකි.

ඉකුත් 01වැනි දින සැකකරුවන් දෙදෙනා හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ලබාගන්නා ලද රැඳවුම්  අනුව සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඉකුත් මස 19 වෙනිදින  වත්තල හේකිත්ත ප්‍රදේශයේ නිවසකට කඩා වැදි පුද්ගල ඝාතනයක්  සිදු කළ පුද්ගලයන් බවට හඳුනාගත් බව පොලිසියකියයි.

එම ඝාතනය දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග නමැත්තාගේ උපදෙස් මත සිදු කළ බවට සැකකරුවන් විසින් අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.