වකුගඩු ලෙඩේ ඔඩු දුවයි


ඉන්දියා ජාතිකයන් ලංකාවේ පෞද්ගලික රෝහල් කිහිපයක දී වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමට සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ගේ සහයද ලැබී ඇති බව තහවුරු වී ඇති බව ඉන්දියා පොලිස් වාර්තා කියතියි ඉන්දියාවේ " ද හින්දු " පුවත්පත වාර්තා කර සිටී.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව වකුගඩු මුදලට අලෙවි කිරීම තහනම් බැවින් සෞඛ්‍ය බලධාරීන්ගේ ත්‍රිපුද්ගල කමිටුවක් හමුවේ තමන් ස්වේච්ඡා‍වෙන් වකුගඩු ලබාදෙන බවට තහවුරු කළ යුතුව ඇති බව නල්ගොණ්ඩා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සුරේෂ් නැමැත්තා පොලීසියට කටඋත්තර ලබාදෙමින් මේ බව  පවසා ඇතැයි හින්දු වාර්තාවේ සඳහන් වේ.

වෛද්‍යවරුන් දෙදෙනෙකු හා ‍සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීයෙකු මෙම කමිටුව නියෝජනය කරන බවත්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයට අවසර ලබාදීම සඳහා මෙම කමිටුවට අ.ඩො 500 ක් හෙවත් රු.33,000 ක පමණ මුදලක් අල්ලස් ලෙස ලබාදීමට සිදුවුණු බවත් සුරේෂ් නමැත්තා පවසා ඇතැයි හින්දු පුවත්පත උපුටා දක්වයි.

වකුගඩු මිලදී ගන්නා තැනැත්තා විසින් වකුගඩු මුදලට විකුණන ලද තැනැත්තෙකු වූ සුරේෂ්ට ලබාදෙන මුදලින් මෙලෙස අල්ලස් ලෙස දී ඇති මුදල 1%ක් පමණක් බව තහවුරු වී ඇතැයි විමර්ශන පිරිස් හින්දු පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ මෙන් ශ්‍රී ලංකාවේ වකුගඩු බද්ධ කිරීම්වලට අදාළ නීති ශක්තිමක් නොවන බැවින් බොහෝ ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට පැමිණ මෙම කටයුත්ත සිදුකිරීමට උත්සාහ ගන්නා බව වාර්තා වේ.

වකුගඩු අවශ්‍යතා ඇති පුද්ගලයා විසින් රු. ලක්ෂ 30 පමණ මුදලක් ජාවාරම්කරුට ගෙවිය යුතු බවත්, එයින් ලක්ෂ 15 ක පමණ මුදල් රෝහල් කළමනාකාරිත්වයට ගෙවිය යුතු බවත්, වකගඩු ලබාදෙන පුද්ගලයාට හිමිවන්නේ ලක්ෂ 5ක පමණ මුදලක් පමණක් බවත් ඉතිරිය ජාවාරම්කරුට හිමිවන බවත් මෙම වාර්තා මගින් තහවුරු වන බව හින්දු පුවත්පත අනාවරණය කරයි.