වංචාකරුවන්, ජාතිවාදීන් නැති පිරිසිදු සන්ධානයක් හදනවා


වංචා හා දූෂණවලට සම්බන්ධ පිරිස්වලින් තොර, ජාතිවාදී කණ්ඩායමින්වලින් තොර පක්ෂයක් බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පත් කිරීමට තමන් කැමති බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සන්ධානය සමඟ ගිවිසුම් ගත පක්ෂයක් නොවන බවත්,   සන්ධානයෙන් ඉවත්වීමට  එම පක්ෂය කළ ඉල්ලීම අනුව ඒ සඳහා අවස්ථාව දෙන බවත් අමරවීර මහතා කීවේය.
 
මහින්ද අමරවීරඑ මහතා එසේ කීවේ  වවුනියාව මාමඩුව ප්‍රදේශයේ මිරිදිය ධීවරයින් පිරිසකට ඔරු හා ධීවර ආම්පන්න බෙදාදීමේ වැඩසටහනකට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
 
“විමල් වීරවංශ මහතාගේ පක්ෂය එක්සත් ජනතා නිදහස් සංධානයේ සාමාජික පක්ෂයක් නොවෙයි. ඒ වගේම සන්ධානය සමඟ ගිවිසුම් ගත වූ පක්ෂයකුත් නොවෙයි . ඒක නිකම් නමට ඇති පක්ෂයක් විතරයි“
“එහෙම පක්ෂ කිහිපයක් තිබෙනවා.  නමුත් එතුමා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා . අප ඉතාඉක්මණින් අවශ්‍ය පියවර ගන්නවා....  අපි කැමතියි එක්සත් ජනතා නිදහස් සංධානය ජාතිවාදයෙන් තොර , වංචා දූෂණ වලට සම්බන්ධ නැති , වංචා දූෂණ වලට සම්බන්ධ නොවන කණ්ඩායම් සහිත සන්ධානයක් කරන්න“ යයිද එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්වරයා පැවසීය.