ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයිමට ඇමෙරිකාව එකඟවෙයි


ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම නැවත ආරම්භ කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් ඇමෙරිකාව ලෝක සංවිධානයෙන් ඉවත් කරගත් අතර එම විධායක නියෝගය අවලංගු කරමින් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් විගස ජෝ බයිඩන් නව විධායක නියෝගයට අත්සන් කළේය.

ඒ අනුව ඇමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය නැවත ලබාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වී තිබේ.

සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළත් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේදී ත් ජෝ බයිඩන් ජාත්‍යන්තර සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ලෝකය තුළ ඇමෙරිකානු නායකත්වය ස්ථාපිත කිරීම සහ ගෝලීය සහයෝගීතාව නැවත ගොඩනැගීමට ප්‍රමුඛත්වය දෙන බව ද ජෝ බයිඩන් කීය.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ගෝලීය වසංතයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට යි. ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙනි.

ඇමෙරිකාවේ කොරෝනා මර්දනය සඳහා ඩොලර් ට්‍රිලියන 1.9ක් වෙන් කිරීමට ද ජෝ බයිඩන් මේ වනවිට පියවර ගෙන ඇත.

“ඉතා දුෂ්කර තත්ත්ව යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොවිඩ්-19’ මර්දනයට පියවර රැසක් ගෙන තිබෙනවා. විද්‍යා සහ පර්යේෂණ මෙන්ම සංවර්ධන කටයුතු වැඩිදියුණු කර තිබෙනවා. එන්නත් නිෂ්පාදන මෙන්ම පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වේගවත් කර තිබෙනවා. මේ ආදී වශයෙන් පියවර රැසක් ගෙන තිබෙනවා” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාකච්ඡාවකට විඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ජෝ බයිඩන්ගේ ප්‍රධාන වෛද්‍ය උපදේශකවරයා වන ඇන්තනි ෆවුචි පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම ද ආරම්භ කරන බව වෛද්‍ය ෆවුචි කීය.

ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 400,000 ඉක්මවයි.

රාජ්‍ය ආයතන, ගොඩනැගිලි සහ ස්ථානවල මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කරමින් ජෝ බයිඩන් තවත් විධායක නියෝගයකට අත්සන් තබා ඇත.
එමෙන්ම තමන් ධුරය දරන පළමු දින 100 තුළ මිලියන 100කට එන්නත ලබාදෙන බව ද රටේ මහජන සෞඛ්‍ය සහ හදිසි සේවා සේවක බලකාය තවදුරටත් පුළුල් කරන බවට ද ජෝ බයිඩන් පොරොන්දු ලබා දී තිබේ.
 
ඒ.එෆ්.පී.
 055