ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබන්න ශී‍්‍ර ලංකා කාන්තා පිලට කඩඉමක්


ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල මීළග කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට නම් ලබන ජූලි මස අයර්ලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීම අනිවාර්ය වී තිබේ.

සිවුවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය 2014 වසරේ මාර්තු මස බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා නොමැති බංග්ලාදේශය මෙවර ලෝක කුසලාන තරගාවලියේ සත්කාරත්වය දැරීම හේතුවෙන් සත්කාරක රට ලෙස බංග්ලාදේශය අනිවාර්යෙන් තරගාවලියට ඇතුළත් වේ. මේ හේතුවෙන් සුදුසුකම් ලැබිමේ තරගාවලියේදී එක රටකට පමණක් අවස්ථාව හිමිවේ.

ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව යන පසුගිය ලෝක කුසලාන තරගාවලියේදීම සුදුසුකම් ලබාගත් රටක තරගාවලිය පැවැත්වූයේ නම් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහ තරගයට ක‍්‍රීඩා කරන කණ්ඩායම් දෙකම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකාවේදී 2012 වසරේ පැවැති කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල දැඩි පසු බෑමකට ලක්වීමෙන් 7 වැනි ස්ථානයට පත්වීමෙන් සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීමට සිදුවිය.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන කාන්තා විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන ජූලි මස 21 වැනිදා සිට අගෝස්තු මස 2 වැනිදා දක්වා අයර්ලන්තයේදී පැවැත්වේ.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට ප‍්‍රබල කණ්ඩායම් වන පාකිස්තානය, අයර්ලන්තය සහ නෙදර්ලන්තය ද සහභාගි වීමට නියමිතය.

සුදුසුකම් ලැබිමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ තරග මේ මස 13, 15 සහ 17 යන දිනවල කොළඹදී සහ මග්ගොනදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා සංචිතය ලබන ජූනි මස 5 වැනිදා පෙර අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට යොමු කළ යුතුය.