ලෝක තෙල් මිල අනුව මිල සූත්‍රය වෙනස්වේ - අගමැති


(අංජුල මහික වීරරත්න)

“මිල සූත්‍රය අමුතු දෙයක් නොව ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල අඩු වැඩි වීම මත මෙරට තෙල් මිල තීරණය කිරීමයැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගල්ගමුවේදී පැවසීය.

“බොහෝ රටවල් දිනෙන් දිනටද තවත් රටවල් සතියෙන් සතියට සහ ඇතැම් රටවල් මාසයෙන් මාසයට ඉන්ධන මිල වෙනස් කිරීම් කරන්නේ යැයි”ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

සූත්‍රයේ වරද නිසා ඉන්ධන මිල වැඩිවෙනවා යැයි ඇතැමුන් පැවසුවද එවැනි සූත්‍රයක් ගැන තමන් නොදන්නා බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අවුරුද්ද අවසානයේ චීනය, ඉන්දියාව සහ ජපානය නිෂ්පාදනය වැඩිවූ නිසාත්, යුරෝපයේ ශීත කාලය එළැඹ තවත් මාසයකට තෙල් අවශ්‍යතාවය ඇතිවූ හෙයිනුත් තෙල් මිල ඉහළ ගොස් තිබෙන බව පෙන්වා දුන්නේය.

ඉල්ලුම වැඩිවන විට සැපයුම වැඩි කරනවා වෙනුවට ඇමෙරිකාව විසින් ඉරානයට සම්බාධක පැනවීම නිසා අර්බුදය තවත් උග්‍ර අතට හැරී තිබෙන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා තෙල් නිෂ්පාදනය කරන රටක් වන වෙනිසියුලාවේ කඩාවැටීමද ලෝක ඉන්ධන මිල ඉහළ යාමට බලපානු ඇතැයිද කියා සිටියේය.

“මෙවැනි ලෝක තත්ත්වයක් තිබියදී සූත්‍රයකින් කළ හැක්කේ කුමක් දැයි ප්‍රශ්න කළ අග්‍රාමාත්‍යවරයා ලෝකයටම බලපාන ප්‍රශ්නයට මුහුණ දෙනවා මිස එයින් පැන යන්නට හැකියාවක් නැතැයි” කීය.

මිල සූත්‍රය ගණනය කිරීමේදී ඛණිජ තෙල් ගොඩබෑමේ පිරිවැයට මුළු මෙහෙයුම් පිරිවැය එකතුවන අතර ජැටි හා නළ මාර්ග ගාස්තු මෙන්ම වාෂ්පීකරණය නිසා ඉවත්වන ඛණිජතෙල් වල පිරිවැය ප්‍රවාහන විකිණුම් පරිපාලන හා  තොග ගබඩා පිරිවැයද අලෙවි නියෝජිතයන්ගේ කොමිස් පිරිවැය  රේගු බදු, තීරු බදු ගෙවන්නට සිදුවන බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගල්ගමුව-ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ඇහැටුවැව බණ්ඩාරනායක මහ විදුහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය.