ලේ වර්ගය අති දුර්ලභයි


ලෝකයේ දුර්ලභ ලේ වර්ගයක් වන ‘බොම්බේ ඕ පොසිටිව්‘ ලේ සහිත මවක් පෙරේදා (29) මාතර මහ රෝහලේ දී දරුවකු ප්‍රසූත කළ බව එම රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය කියන්නීය.

අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක එම දරුප්‍රසූතිය සිදු කර තිබේ. මව සහ අගේ දරුවා නිරෝගී තත්ත්වයේ පසුවන බව රෝහල් අධ්‍යක්ෂිකාව පවසන්නීය.

දරු ප්‍රසූතියට පෙර එම කාන්තාව බොම්බේ ඕ පොසිටිව් ලේ වර්ගයට අයත් බව දැනගත් විගස රෝහල් කාර්ය මණ්ඩලය වහා යුහුසුළු වී එම ලේ වර්ගය සෙවීමට පටන් ගෙන තිබේ. ඒ දරු ප්‍රසූතියේ දී ඇයට ලේ ලබා දීමට සිදු වුවහොත් දකුණු කලාපීය රුධිර බැංකුවේ එම ලේ වර්ගය නොමැති නිසාය.

බොම්බේ ඕ පොසිටිව් යනු අති දුර්ලභ ලේ වර්ගයකි.

අවට රෝහල්වලින් ද ඒ ගැන විමසා තිබෙන අතර පසුව කොළඹ සොයිසා රෝහලේ තිබී බොම්බේ ඕ පොසිටිව් වර්ගයේ ලේ පැකට්ටුවක් ලැබී ඇත.

එහෙත් එම මව සාමාන්‍ය ලෙස දරුවා ප්‍රසූත කර තිබෙන නිසා අදාළ ලේ ඇයට ලබා දීමට අවශ්‍ය නොවූ බව වෛද්‍යවරු කියති.