ගිය වසරේ මැයි මාසයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ වැඩවර්ජනයට එරෙහිව තමන් හදවත් ලෙඩෙකියි කියමින් තහනම් නියෝගයක් ගත් දෙමටගොඩ වේළුවන පාරේ අජිත් සේනකගෙන් රුපියල් කෝටි දෙක හමාරක් ඉල්ලමින් එම සංගමය අද අතුරු ඉල්ලීමක් කෙළේය.
කොළඹ දිසා විනිසුරු අමල් රණරාජා මහතා නඩු විභාගය ලබන 31 වැනිදාට කල් තැබීය.
හෘදයාබාධයක් ඇතැයි කියමින් 2012 මැයි 10 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළු වූ ඔහු වෛද්‍ය උපදෙස් නොතකා රෝහලෙන් පිටවී ගොස් ඇතැයි ද සංගමය කියයි.
වැඩ වර්ජනය අවසන් වූ නිසා තම අතුරු තහනම දික් කර ගැනීමට හෝ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට හෝ ඉල්ලීමක් නොකරන බව අජිත් සේනකගේ නීතීඥ ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා කියා සිටියේය.
වෛද්‍ය සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එස් පර්තලිංගම් මහතා කියා සිටියේ පැමිණිලිකරු නඩු ගාස්තු ගෙවිය යුතු බවයි.
වන්දි ඉල්ලීමේ නඩුව විභාගයට ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
දවසේ නඩු ගාස්තු ගෙවන ලෙස අජිත් සේනකට නියම කළ විනිසුරු වන්දි ඉල්ලීමේ විභාගය මැයි 31වැනිදාට කල්තැබීය.