(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුන්වා ඇත්තේ පෞද්ගලික රෝහලක සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා වැරදි ලෙස ලබාදීමෙන් යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසයි.
එම වැරදි වාර්තා හේතුවෙන් කඳාන ලෙකෝ ආයතනයේ සේවකයන් කිහිප දෙනකු සහ තවත් පෞද්ගලික ආයතන කිහිපයක සේවකයන් කොරෝනා රෝගීන් යොමුකරන රෝහල්වලට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි. එම රෝහල තමන් දුන් වාර්තාව වැරදි බව පසුව ප්‍රකාශ කිරීමත් සමග එම සේවකයන් රෝහල් වලින් ඉවත්කර නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.
මේ අනුව විදුලි පෞද්ගලික සමාගමේ නිලධාරීන් අතරින් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු නොවූ හත් දෙනකු ආපසු යැවීමට කටයුතු කර ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ ගාල්ලේ පෝද්දල පදිංචිකරුවා මෙසේ කීවේය.
”මට විශාල අසාධාරණයක් වුණා. මෙය නැවත නිවැරදි කරන්න කිසිම කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ. මා පසුගිය 3 වැනි දා මගේ නිවසට ඇවිත් නැවත 6 වැනි දා කාර්යාලයට ගියාට පස්සේ දැනගත්තා අපේ කාර්යාලයේ වෙනත් නිලධාරයකුගේ දියණියක් කොරෝනා ආසාදනය වෙලා කියා. ඒ නිසා අපටත් නිවෙස්වල නිරෝධායනය වෙන්න සිදුවනවා කියා. මා නැවත ගාල්ලට එනවා කියන්නේ මට කොරෝනා ආසාදනය වෙලා නම් විශාල පිරිසක් අමාරුවේ දැමීමක්. ඒ ගැන අපි සාකච්ඡා කළාම අපේ සමාගම තීරණය කළා අපේ පීසීආර් පරීක්ෂණයක් කරන්න. මෙය රජයෙන් කරන්නේ නැහැ. ඒ නිසා පෞද්ගලික රෝහලකින් කරවා ගත්තා. එක් පීසීආර් පරීක්ෂණයක් සඳහා රුපියල් 8,800 ක් බැගින් වැයවුණා. ඔවුන්ට සාම්පල දුන්නේ පසුගිය 10 වැනි දා. 13 වැනි දා උදේ ඒ රෝහලෙන් කතා කරලා කිව්වා මටත් තවත් 6 දෙනෙකුටත් ආසාදනය වෙලා නැහැ, නමුත් 5 දෙනෙක් ආසාදිතයි කියලා. නැවත සවස කඳාන පොලිසියෙන් කතා කරලා කිව්වා රෝහලෙන් අලුත්ම වාර්තාවක් ලැබිල තියෙනවා. ඒ අනුව මමත් අසාදිතයෙක් කියා. සෞඛ්‍ය අංශවලින් මාව ලග්ගල රෝහලට ගෙන ගියා. මාව රඳවා තැබුවේ කොරෝනා රෝගීන් සමග. පසුව දැනගත්තා මා ආසාදිතයෙක් බවට පෞද්ගලික රෝහලෙන් පවසා තිබුණේ වැරදීමකින් කියලා. ඔවුන් කරපු වැරැද්ද නිසා මට රෝහලක ආසාදිතයන් සමග ඉන්න වුණා. මට ඉබේම කොරෝනා වයිරසයට නිරාවරණය වෙන්න වුණා. ඒ විතරක් නෙවෙයි අපි ආසාදිතයි කියලා අපේ පවුලේ අය පවා නිරෝධායනයට යොමු කළා. මගේ දරුවන් අධ්‍යාපනය ලබනවා. ඔවුන්ගේ මිතුරු මිතුරියන්ට විශ්ව විද්‍යාලවලට පවා මෙය ගැටලුකාරී දෙයක් වුණා. මා ප්‍රදේශයේ සමිති සමාගම් රැසක සාමාජිකත්වය දරනවා. මෙය මගේ ජීවිතයට විශාල කැළලක්. මේ ගැන මාධ්‍යවල, සමාජ මාධ්‍යවල පවා ප්‍රචාරය වුණා. සමාජය අපි දිහා බැලුවේ අපි වරදක් කරපු මිනිස්සු හැටියට. මේවාට කවුරුවත් උත්තර දෙන්නේ නැහැ. මට ඇත්තටම කොරෝනා තිබුණේ නැහැ. නමුත් වැරදි වාර්තාවක් නිසා මට කොරෝනා ආසාදිතයන් ඉන්න තැනට යන්න වුණා. මේක මොන තරම් අසාධාරණයක් ද ?
අසාදිතයැයි පැවසූ පුද්ගලයාගේ පෝද්දල නිවසේ සිටි බිරිඳ, දරුවන් දෙදෙනා, මව, පියා සහ නැන්දණියක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙය වීමෙන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබූ අතර 15 වැනි බ්‍රහස්පතින්දා වනවිට එම පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් කියැවුණේ ඔවුන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බවයි. එසේ වුව ද ඔවුන් නිවසේම නිරෝධායනයට යොමුකර ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ලෙකෝ සමාගම තම ආයතනයේ සේවය කරන සාමාජිකයන් සඳහා ගෙවීම් සිදුකර නිරෝධායනය විය හැකි හෝටල් වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.
ලෙකෝ සමාගමේ නිලධාරීන් ඒ අනුව දික්වැල්ල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් තම අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටින බවයි. ඔවුන් කොරෝනා ආසාදිතයන් සිටින රෝහලට යොමු කළ දින සිට දින 14කින් යළි පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බවත් එම ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ වෛද්‍යවරයකු පැවසීය.

