ලුතිනන් කමාන්ඩර්ගේ පැමිණිල්ල ගැන විමර්ශනයක්


බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන
 
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා නාවික හමුදා මූලස්ථානයේදී ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතාට පහරදීමට උත්සාහ කළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් සී.සී.ටී.වී කැමරා පට පරීක්ෂා කර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’ යට කීය.
 
2008 වසරේ තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව සම්බන්ධ පරීක්ෂණයේ සැකකරුවෙකුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා එල්ල වී සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව සාක්කි ලබාදී ඇත්තේ මෙම ලුතිනන් කමාන්ඩර් ගලගමගේ මහතා යැයි ද ඒ මහතා කොටුව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළේ යැයි ද එම පොලිස් නිලධාරියා පැවසීය.
 
කොළඹ නාවික හමුදා මූලස්ථානයේ නිලධාරින්ගේ භෝජන ශාලවේදී තමා රැඳී සිටියදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හා ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා අසභ්‍ය වදනින් බැණ වදිමින් පහර දීමට උත්සාහ කළ බවටත් එහිදී පෞද්ගලික ආරක්ෂක නිලධාරියා පිස්තෝලයක් ද අතැතිව තමා පසුපස පන්නාගෙන පැමිණි අවස්ථාවේ ජීවිතාරක්ෂාව පතා කොළඹ කොටුව පොලිසිය දක්වා දිවයන්නට තමා කටයුතු කළ බවටත් ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතා පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
 
ලුතිනන් කමාන්ඩර්වරයා කොළඹ කොටුව පොලිස් ස්ථානයට පැමිණ සිදුවීම ගැන වාර්තා කළ විට පොලිස් ස්ථානාධිපතිවරයා ඒ මොහොතේම සිදුවීම වූ ස්ථානයට ගොස් ඇතත් නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයට ඇතුලුවීමට ඉඩ දී නැතැයි කී හෙතෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ඇතුළු කණ්ඩායමක් ගොස් ක්‍ෂේත්‍ර පරීක්ෂාවක් කළේ ඉන්පසුව යැයි ද කීවේය.
 
ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතාගේ ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වන්නැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නාවික හමුදාපතිවරයාට මීට පෙර ලිඛිත දැනුම්දීමක් කර තිබිණි.
 
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්.ආර්.බී සෙනෙවිරත්න මහතා අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ක්‍රියාකාරිත්වය වින්ධිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට බරපතල තර්ජනයක් බව සඳහන් කරමින් පොලිස්පතිවරයාට පසුගියදා ලිපියක් යොමුකළේය.