ලී යන්ග්, චංගුමී වූ හැටි


චංගුමී හෙට නික්ම යයි. එහෙත් අනිද්දාටත් ඇය පිළිබඳ මතක අපේ සිත්වල ඉතිරි වී තිබෙනු ඇත. චංගුමීට පණ දුන් ලී යන්ග් ඒ චංගුමී වෙන්නට ගත් මෙහෙය පිළිබඳව කළ අපූරු හෙළිදරව්වකි මේ.


ගිම්හානයේ එක් සුන්දර දවසක් චිත‍්‍රපටයේ රූගත කිරීම් නිමා විය. ලී යන්ග් ඒ ගෙදර ගියේ දිගු විවේකයක් ගත කිරීමේ අදහසිනි.
අඩුම තරමින් අවුරුදු දෙකක් ඇය තමාටම කියාගත්තාය. රංගනය පිළිබඳ උපාධියක් කිරීම කොරියාව පුරා සංචාරය කිරීම මේ දිගු නිවාඩුව තුළදී නිමා කළ යුතු වූ ඉලක්ක ලෙස ඇය තෝරා ගත්තාය.

එහෙත් මේ වන විටත් ලී යන්ග් ඒ නම් වූ සුන්දර යුවතිය, කොරියානු පේ‍්‍රක්ෂකයන්ගේ ආකර්ශණයත්, ආදරයත් දිනාගත් සිහින කුමරියකව උන්නාය. මේ නිසා දෝ තව තවත් ටෙලි නාට්‍යයත් චිත‍්‍රපටත් ඇයට ලැබිණි.
”මම විවේකයක් ගන්නයි හිතාගෙන ඉන්නේ...”
ලි යන්ග් ඇයට නාට්‍ය ගෙනා හැමෝටම කීවාය.
”මේක රඟපාලා ඉවර වෙලාම විවේකය ගන්න.”
ඒ හැම විටෙකම ඇයට පෙරලා යෝජනා කෙරිණ.

ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ලී බියොන් හන්, ලී යන්ග් ඒ සොයා ආවේ ඔය අතරතුරය.
ලී බියොන් ගේ නිර්මාණ ගැන ලී යන්ග් තුළ තිබුණේ යහපත් ප‍්‍රතිචාරයකි. ඔහු ආවාට ගියාට නිර්මාණ කළේවත්, ශිල්පීන්ට අසාධාරණයක් කළේවත් නැත.
මම මේ පාර කරන්නේ අවුරුදු පන්සීයකට එහා ජොසෙන් රාජවංශය කාලෙ කතාවක්. මේ කාලෙ රජ ගෙදර වෛද්‍යවරිය වුණේ ජෙන්හෙයුම් කියලා ගෑණු ළමයෙක්. එයාගේ කතාව මම කරන්න හදන්නේ. ඉතින් ඒ රාජකීය වෛද්‍යවරිය වෙන්නයි මං ඔයාට ආරාධනා කරන්නේ.”
අධ්‍යක්‍ෂ ලී නිලි ලීට පැවසුවේය.

මට හරිම මහන්සියි ලී. මං හිතා ඉන්නෙ දිග විවේකයක් ගන්න. මං හිතන් ඉන්නවා රංගනය ගැන උපාධියක් කරන්නත්.
ලී කීවාය.
මේ චරිතය ඔයාගෙ ගමන් මග වෙනස් කරන චරිතයක්. කෝකටත් තීරණයක් ගන්න කලින් ඔයා මේ පිටපත කියවන්න.
අධ්‍යක්‍ෂ ලී කිම් යන්ග් විසින් ලියූ තිර පිටපත නිලි ලී අත තබමින් කීවේය.
 


සිය විවේකයෙන් බිඳක් වැය කර ඬේ ජෙන්ග් ගෙයුම් නම් වූ නාට්‍ය පිටපත කියවන්නට ලී පටන් ගත්තාය. මවත් පියාත් නැති අනාථ දැරියක වූ ජෙන්ග් ගෙයුම් රජ ගෙදර මුළුතැන් ගෙයි ආහාර පිසින්නියක ලෙස සේවයට පැමිණීමත්, අවසානයේ එහිම රාජකීය වෛද්‍යවරිය වීමත් දක්වා දිවෙන අපූරු කතාවක් වූ එහි ප‍්‍රධාන කාන්තා චරිතය අපූරුවට රඟපෑ හැකි යැයි ලී යන්ග්ට සිතිණි. සිය විවේකය සිහිනයක් කර තවත් ටික කලකට කල් තබන්නට ලී තීරණය කළාය.
මීට කලින් ඇය රඟපෑ ඓතිහාසික ටෙලිනාට්‍ය දෙක ද ඇය සිය මතකයට නගා ගත්තාය. එකක් බටහිර මන්දිරයයි. අනෙක චන් ප‍්‍රම්ධන්ජා නාට්‍යයයි. එම නාට්‍යවලටත් වඩා හොඳින් ජැන්ග් ගෙයුම් නාට්‍ය කළ හැකි බව ලී යන්ග්ට සිතිනි.

එහෙත් නාට්‍යයේ කොටස් පනස් හතරක් තිබිණි.
”මෙච්චර කොටස් ගණනක් රඟපාන්න නම් අමාරුයි” එසේ සිතූ ලී යන්ග්, අධ්‍යක්‍ෂවරයාට කතා කර කීවේ, නාට්‍යයේ කොටස් ගණන අඩු කළ යුතු බවය. එහෙත් අධ්‍යක්‍ෂධවරයා ඊට එකඟ වූයේ නැත.
ඔයාට වෙහෙසක් මහන්සියක් නොදැනෙන්න අපි මේ වැඬේ කරමු.
අධ්‍යක්‍ෂ, ලීට පැවසුවේය. අවසානයේ ලී, ජැන්ග් ගෙයුම් හෙවත් චංගුමී වන්නට තීරණය කළාය.

ජැන්ග් ගෙයුම් හෙවත් චංගුමී යන ඓතිහාසික චරිතය ටෙලිනාට්‍යයට නැගෙන බව ප‍්‍රචාරය වීමත් සමග කලා ලෝකයෙන් ලැබුණු ප‍්‍රතිචාරය උණුසුම් විය.
සමහරු වෙබ් අඩවි ඔස්සේ වැරැදි තොරතුරු ප‍්‍රචාරය කළ අතර ඇතැම් රසිකයෝ ලී යන්ග් ඒට චංගුමීගේ චරිතය නිරූපණය කළ හැකි දැයි සැක පහළ කළහ. මෙවැනි සැක සංකා මතුවන විට ලී යන්ග් ද හිතුවේ ඇයට මේ අභියෝගය ජය ගත හැකි ද කියාය. එහෙත් ඇය අභියෝගය බාරගන්නට පෙර සූදානම් වූවාය.
හැන් බොග්නියෝගේ කෝර්ට් කුකින් ස්ටඞී කොලේජ් නම් වූ ආයතනයට ගිය ඇය ඉවුම් පිහුම් පාඨමාලාවක් කළාය. ඒ සමගම කොරියානු ඉපැරැණි වෛද්‍යවරයකු වෙත ගොස් ඒ පිළිබඳ හැදෑරීම් ද කළාය. හෝ ජෙන්ග් ලියූ ඊස්ටන් මෙඩිසින් එපිටොම් පොත ද ජෝසෙන් රාජධානි සමය ගැන හා ජැන්ග් ගෙයුම් පිළිබඳ ලියැවුණු පොත පත ද පරිශීලනය කළාය. මේ ඔස්සේ ලත් දැනුම වසර පන්සියයකට පෙර අතීතයේ සැරිසැරීමට ලීට මහෝපකාරී විය.
ටෙලිනාට්‍ය පිළිබඳ ප‍්‍රථම හමුවේදී ඇයට නළු නිළියන් රාශියක්ම මුණගැසිණි. ඒ අතරින් ඇගේ හිත ගත්තේ චෝයි ආර්යාවගේ චරිතයට පණ දුන් ක්යොන් මිරි, ජෙයුම් යොන්ග් ලෙස රඟපෑ හොන් ලිනා ගැන්ග් ඩිගෝකුගේ චරිතය රඟපෑ ඉම් සහ එම චරිතයේ ළමා කාලය නිරූපණය කළ ඩෝ ජියෝංග් යන පිරිසය.

චෝයි ආර්යාවට අවුරුදු හයක පුතෙක් හිටියා. එයා හරිම හුරතල්. හංගගෙන හිටිය සල්ලි ටිකක් අරගෙන ඇවිත් මට දීලා එයා මගෙත්තෙක්ක යාළු වුණා. ඊට පස්සේ මගෙ ඔඩොක්කුවට පැන්නා. එයාගෙ හුරතල් හින්දා දර්ශන තලයේදී මට පාළුවක් දැනුනෙම නැහැ.
ලී, පසුව විස්තර කළාය.
 


ඬේ ජන්ග් ගෙයුම් ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කොරියාවේ විවිධ ප‍්‍රදේශවල පැවැත්විණි. ඇතැම් රූගත කිරීම් කෙරුණේ ග‍්‍රාමීය ප‍්‍රදේශවලය. තවත් සමහර රඟපෑම් කළ යුතු වූයේ ජේජු දූපතේදීය. මේ දර්ශන තල ලී ගේ සිතට ආශ්වාදයක් ලබා දුන්නේය.

හුඟාක් ග‍්‍රාමීය පෙදෙස්වලට ගියාම අම්මල තාත්තලා එයාලගේ රෝගී ළමයි අරගෙන මගෙ ළඟට ආවා. ඇවිල්ලා එයාලගෙ ළමයින්ගෙ ඔලූවෙන් අත තියලා එයාලව සනීප කරල දෙන්න කියලා ඉල්ලූවා. මට එහෙම බලයක් නෑ කියලා කිව්වට ඒ අය විශ්වාස කළේ නෑ. පස්සේ මමත් එයාලගේ ඉල්ලීම් ඉටු කළා. මං හිතන්නේ ඒ අය හිතන්න ඇති මං ඇත්තටම රාජකීය වෛද්‍යවරියක් කියලා. ලී යන්ග් ඇගේ රසමුසු මතක හෙළිදරව් කළේ එලෙසිනි.

මෙවැනි අවස්ථාවලදී ඇයට කොරියාවේ ඉපැරැණි පන්සල්වලට ද යන්නට අවස්ථාව ලැබිණි. සමහර ගැමියන් මේ පන්සල්වලට ගොස් බාර හාර වී කන්නලව් කළ අතර මෙවැනි අවස්ථාවලට සහභාගි වන්නට ද ලී යන්ග්ට සිදුවිය.
”මම බෞද්ධයෙක් නොවුණත් ඒ අවස්ථාවලට සහභාගි වුණේ සතුටින්.”
ලී කියයි.


ජේජු දූපතේ රූගත කිරීම්වලට සතියකට දෙකකට වරක් ජේජු දූපතට ද යන්නට ඇයට සිදුවිය. එම ගුවන් ගමන්වලට ඇය දැක්වූයේ බියකි. සැප්තැම්බර් එකොළහ ප‍්‍රහාරය පිළිබඳව කම්පාවට පත්ව  සිටි ලී තවත් වරක් එබඳු ප‍්‍රහාරයක් සිදුවේ යැයි බියෙන් පසුවූවාය. ඇතැම් විට ඒ ප‍්‍රහාරය ඇය යන ගුවන් යානයකට එල්ල විය හැකිය යන බිය ඇගේ සිත සසල කළේය. ඇය ගුවන් ගමන්වලට බය වූයේ එබැවිනි.
එහෙත් ජේජු දූපතේ මුහුද යටින් ගොස් කොරල් පරවල අසිරිය නැරඹීමට ඇය අතිශයින් ආශා කළාය.

ජේජු දූපතේ රූගත කිරීම් පටන් ගත්තෙ ජනවාරි මාසෙක. ඒ කාලෙ හොඳටම සීතලයි. මගෙ කාමරේ උණුසුම් කරගන්න කියලා මට හීටරයක් ගෙනත් දුන්නෙ මගෙ සහෝදර නිළියක්.
ලී යන්ගේ සුන්දර මතක එබඳුය.
චංගුමී ජේජු දූපතේ සිර කර සිටියදී ඇය බේරා ගන්නට ආවේ මින් ජුන්ගෝය. ඔහු ඇයට ආදරය කළ අයෙකි. ඔහු ඇයටත් ඇය ඔහුටත් ආදරය කළ නමුත් එම ආදරය කවදාවත් වචනවලට පෙරලූණේ නැත. එහෙත් චංගුමී සිරගතව සිටිය දී ඇය බේරා ගන්නට මින් ආ විට චංගුමීගේත් මින්ගේත් ඇස් කඳුළුවලින් පිරී ගියේය.

”මින් මාව බේරා ගන්න ආවෙ අශ්වයෙක් පිටේ. ඒ දර්ශනයට මං හුඟාක් කැමතියි.”
ලී කියයි.
එහෙත් ජේජු දූපතේ පැවැති සීතල දේශගුණය ලී යන්ග්  රෝගී කළේය. ඇයට වැළඳුණු උණ සහ ප‍්‍රතිශ්‍යාව නිසා දින කිහිපයකට රූගත කිරීම් නතර කරන්නට ද සිදුවිය.
 


රූගත කිරීම් නතර කරන්නට සිදුවූ තවත් අවස්ථාවක් ද උදාවිය. ඒ රජ ගෙදර කුස්සියේදී ලී ගේ අත කැපුණු අවස්ථාවයි.
”එදා කැපුණේ මුද්ද දාන ඇඟිල්ල. ලේ ගොඩාක් විද්දා. මං හිතුවේ මට වෙඩින් එක දවසට මඟුල් මුද්දවත් දාන්න බැරි වෙයි කියලයි.”
ඒ මතකය ලී යන්ග් අවදි කරන්නේ එලෙසිනි.

එදා අධ්‍යක්‍ෂ ලීත් හොඳටම බය වුණා. මාව ඉක්මනටම ඉස්පිරිතාලෙට අරගෙන ගියා. එහිදී ශල්‍යකර්මයක් කරලා මගේ අත තිබුණු විදිහටම සනීප කළා.
ලි යන්ග් චංගුමීට පණදෙන්නට අපමණ සේ වෙහෙස වූවාය. ඒ සඳහා ඇය රඟපෑම් විවිධ තාක්ෂණික උපක‍්‍රම භාවිතා කළාය. අතීතයේ දී ලද විවිධ අත්දැකීම් විවිධ අභිනයන් භාවිතා කළාය.
ඇතැම් අවස්ථාවක් හරිහැටි තේරුම් ගැනීමට ලී ට අපහසු විය. එවැනි විටෙක ඇය කරන්නේ තිර රචකයාට ඇමතීමය. ඇය සමග චරිතය පිළිබඳවත් සිදුවීම් පිළිබඳවත් ගැඹුරට සාකච්ඡා කළාය. මෙවැනි කතාබහ ඔස්සේ චරිත සහ සිදුවීම් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට ලී සමත් විය.
”මගේ රංගනයේ සාර්ථකත්වය ඒකයි”
ලී යන්ග් කියයි.

 

ඇගේ තවත් රංගන උපක‍්‍රමයක් තිබේ. ඒ කැඩපතක් ඉදිරියට ගොස් පළමුව රඟපෑමයි. එමගින් ඇගේ අඩුපාඩු ඇයටම දැක බලා ගත හැකිය. මේ බව දන්නා ක්‍ෂේත‍්‍රයේ උදවිය ලී යන්ග්ට අන්වර්ථ නමක් ද පටබැන්දෝය. ඒ කැඩපත් කුමාරි යනුවෙනි.
ලී යන්ග් ඒ මෙතරම් වෙහෙස මහන්සි වී රඟපෑවත් කොරියානු පුවත්පත් වරක් සඳහන් කළේ ජැන්ග් හෙයුම් ටෙලිනාට්‍යයේ සාර්ථකත්වයේ රහස අධ්‍යක්‍ෂකගේ සහ තිරරචිකාවගේ හපන්කම බවය.

”එදා නම් මට හොඳටම දුක හිතුණා. මං ඇඬුවත් එක්ක” ලී යන්ග් කියයි.
කෙසේ වුවත් ටෙලිනාට්‍යය විකාශය වන විට පේ‍්‍රක්ෂක ආදරය ලැබුණේ ලී යන්ග්ට මිස අධ්‍යක්‍ෂකටවත්, තිර රචිකාවටවත් නොවේ.
බාල මහලූ තරුණ වයස් බේදයක් නැතිවත් පිරිමි ගැහැණු ලිංග බේදයක් නැතුවත් ඇයට ආදරය සෙනෙහස ලැබිණි.
ලී ගේ රුවින් සහ පිළිසඳරවලින් පත්තරව පිටු පිරිණි. රුපවාහිනී නාලිකාවලටත් ඇය නැතිවම බැරි විය.
”මට ආසයි සේද මාවත දිගේ යන්න”
වරක් ලී පුවත්පතකට පැවසුවාය.

ඊට සතියකට පසු රසිකයෙක් ඇයට සේද මාවත පිළිබඳව ලියැවුණු පොතක් තිලිණ කර එව්වේය.
ඇත්තටම ලීගේ සතුට සංචාරයයි. ජපානයට ගිය ඇය එහි ගිම්හානයේ ලස්සන බලාසිටියේ අප‍්‍රමාණ සතුටකිනි. දැන් ඇගේ පැතුම සේද මාවත දිගේ ඇවිද යාමටය. එහෙත් දැන් ඇය ජිවත් වන්නේ දේදුණු මාවතේය. අක්කර එකසිය අසූවක විසල් වත්තක් මැද්දේය.
ඇය සතුටිනි

 


අද ඇය හැඳින්වෙන්නේ ආසියාවේ මැණික ලෙසිනි.

- සටහන
ශාන්ත කුමාර විතාන