ලිච්ඡවි සම්ප්‍රදායට තැන


දින සියයේ වැඩසටහනට අනුව විධායක ජනපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධවූ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කෙරෙන 19 වැනි සංශෝධනය, ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම් පත, ජාතික විගණන හා තොරතුරු දැනගැනීමේ පනත් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේය.

පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා පිහිටුවීමට ක්‍රියා කරන බවත් නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන මන්ත්‍රීවරුන් සහ සෑම පක්ෂයක්ම නියෝජනය වන පරිදි ඒවායේ සභාපතිවරුන් පත් කිරීමට බලාපොරොත්තුවන බවත් අගමැතිවරයා කීය.

තම ආණ්ඩුව රාජ්‍ය පාලනයේදී අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නේ ලිච්ඡවී සම්ප්‍රදාය බවත් නව දේශපාලන සංස්කෘතියක් බිහි කරන්නට, ශීලාචාර ආණ්ඩුවක් නිර්මාණය කරන්නට, පවුල්වාදය වෙනුවට ජන සම්මතවාදය ස්ථාපිත කරන්නට, දූෂණයෙන් වංචාවෙන් තොර යහ පාලනයක් ඇති කරන්නට, ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරන්නට ක්‍රියා කරන බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.