ලැප්ටොප් 205 ගැනීමේදී නීති කඩලා


(සුජිත් හේවාජුලිගේ)

සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලය (ඊ.ටී.එෆ්) 2022 වසරේදී  රුපියල් කෝටි හතරකට වැඩි වටිනා  ලැප්ටොප් පරිගණක 205 ක් නියමිත ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය නොකර මිලදී ගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

ජාතික තරගකාරී මිල ක්‍රමය අනුගමනය කර වඩාත් තරගකාරී මිල ගණන් ලබාගත යුතු වුවද මෙම පරිගණක මිලදී ගැනීමේදී  අවස්ථා හතරකදී මිල සැදැහුම් ක්‍රමය අනුගමනය කර තිබූ බව   එම වාර්තාවේ දැක්වේ.

නිල සැදැහුම් ක්‍රමය අනුගමනය කළ යුතු වන්නේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3-4  ප්‍රකාරව වටිනාකමින් අඩු මිලදී ගැනීම් සඳහා පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එහි පාලනාධිකාරිය පවසන්නේ ලැප්ටොප් පරිගණක 205 සඳහා දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවයටතේ ජාතික තරගකාරීන් මිල ගණන් කැදවීම කළේ නම් එම ක්‍රියාවලියට දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන්  මණ්ඩලයට මූල්‍යමය අවාසියක් මෙන්ම නිසි කලට භාණ්ඩ  නොලැබීම හේතුවෙන්  මෙහෙයුම් කටයුතුවලට සැලකිය යුතු බාධාවක් සිදුවීමට ඉඩ තිබූ බවයි.

මේ අතර නිලධාරීන්ට ලබාදිය හැකි උපරිම ණය ප්‍රමාණය රුපියල් කෝටි දෙකක් වුවද චක්‍රලේඛ  විධිවිධානවලට පටහැනිව රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වශයෙන් රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව හෙළිවී ඇත.

2022 වර්ෂයේ ණය ලිපිගොනු හැට හතකට  අදාළව කරන ලද නියැදි පරීක්ෂණයේදී  මෙම තොරතුරු හෙළිවී  යැයිද වාර්තාවේ දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය