නයිජීරියානු කප්පම් කල්ලියක් මගින් පැහැරගෙන ගොස් ඇති ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙක් වූ ජේ ඒ කරුණාදාස මහතා බේරා ගැනීම සදහා තමා ඇතුළු තම කාර්යමණ්ඩලය උපරිම උත්සහයක් ගනිමින් සිටින බව නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති ඒ එල් රත්නපාල මහතා ලංකාදීප එසැණට පැවසිය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ කීය. ‘‘ඇත්තෙන්ම ඔහු සේවය කරපු එරට සමාගමත් ඔහු බේරා ගැනීම සදහා උපරිම උත්සහයක් ගනිමින් ඉන්නවා. ලාංකිකයෙක් මේ විදියට නයිජීරියාවේදී පැහැරගත්තේ පළවැනි වතාවට. මෙයට ප්‍රථම ආසියාතික රටවල අය පැහැරගෙන ගොස් තිබෙනවා. ඇතැම් අයව මරා දැම්මා. වැඩි පඩි නිසා උගත් අය මෙහෙ රැකියා වලට එනවා. ඒ වගේම කප්පන් කරුවන්ගේ මේ අවදානමත් තියෙනවා. විදේශ සමාගම් තමන්ගේ විදෙස් සේවකයන්ට ඉන්න නිවාස ව්‍යාපෘති ඇති කරලා ඒවාට පොලිස් ආරක්ෂාවත් ලබා දීලා තියෙනවා. අපේ කෙනාට පොලිස් ආරක්ෂාවකුත් තිබුනා. නමුත් පොලිස් නිලදාරියා ඝාතනය කරලයි ඔහුව පැහැරගෙන ගියේ. බලමු සුබ දෙයක් අපිට අහන්න ලැබේවි‘‘

