ලස්සනත් එක්ක දක්ෂකම නැතිවුණොත් අනාගතයක් නෑ


2017-01-23-ent-128

රුක්ෂානා දිසානායක කියන්නේ මේ දිනවල කවුරුත් දන්න චරිතයක්නෙ. ඇය විසින් පසුගිය කාලයේ දායක වුණු චිත්‍රපටයක් වන ‘උලත් එකයි පිලත් එකයි’ රසික ප්‍රතිචාර මැද තිර ගතවුණා කියලා කියන්නේ පුළුවන්. එම නිසාව ඇයව මෙවර ‘සාරවිට’ තරු කතා බහට එක් කර ගනු ලැබුවා.

 

රුක්ෂානා කොහොමද ජීවිතේ?

2017-01-23-ent-127වරදක් නෑ. හොඳින් ගෙවෙනවා.

 

රුක්ෂානගෙ පවුලෙ කවුද ඉන්නෙ?

මගෙ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, මල්ලියි.

 

රුක්ෂානා පොඩි කාලෙ කොයි වගේ චරිතයක් ද?

පොඩි කාලෙ මම හරිම දඟයිලු. පෙර පාසල් යද්දි නම් ටිකක් අහිංසක විදියට ඉඳලා තියෙනවා. ඒත් පාසල් කාලෙ පහ වසරෙ 6 වසරෙදි වගේ

ළමයින්ට ගහන හරි නපුරු ළමයෙක්.

 

ඇයි ඒ නපුරු වුණේ?

මම පාසල් යන කාලෙදි ක්‍රීඩා කරන්න පටන් ගත්තානේ. නෙට්බෝල්, ස්වීමින් එහෙම කළා. ඒවා කරද්දි කට්ටියට වැටිලා ටිකක් දඟවෙලා තියෙනවා.

 

මොකක්ද පාසල

මම O/L වෙනකම් ගියේ සුජාතා බාලිකා විද්‍යාලයට A/L කරන්න ගියේ දේවි බාලිකා විද්‍යාලයට.

 

ඒ කාලෙදි අනන්තවත් ළමයින්ට ගහපු රුක්ෂානාට ඒ දේවල්වලට ගුරුවරුන්ගෙන් ගුටි ලැබිලා නැද්ද?

අපෝ අනන්තවත් බැණුම් අහලා ගුටි කාලා තියෙනවා.

 

වැඩිපුරම බැණුම් අහන්නෙ ඇයි?

ඒ කාලෙ මම නෙට්බෝල් ටීම් එකේ හිටියා. එතකොට ඒකටමයි හිත තිබුණේ. ඒ වගේම මම නිවාස නායිකාව වෙලත් හිටියා. ඒවට දුවන්න ඕනෑ නිසා ඒ දවස්වල හරියට පීරියඞ් කට් කරනවා. අපි නෙට්බෝල් ගහන්න යනවා. ඉතින් ඒවට ගියාම වැඩිපුරම කට් කරන්නෙ කොමර්ස් පීරියඞ් එක. ඒ විෂයත් මට පේන්න බෑ.

ඉතින් ඒ පීරියඞ් කට් කළාම මිස්ට අහුවුණොත් දණ ගස්සවලා තියෙනවා විනාඩි 45ක් විතර. ඒ දඬුවම හරියට කාලා තියෙනවා.

 

A/L කාලෙදි දඟ වැඩ කළේ නැද්ද?

නෑ A/L කරන්න මම වෙනම පාසලකටත් ගියානෙ. ඒ නිසා ඒ තරම් දැඟලුවෙ නෑ. ඒ වගේම මට ලොකු අරමුණක් තිබුණා ඒ කාලෙදි කොහොමහරි විශ්වවිද්‍යාලයට යන්න. ඒ නිසා හොඳට ඉගෙන ගත්තා.

 

එතනින් පසුව රුක්ෂානා විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා?

ඔව් මම A/L කළේ කලා අංශයෙන් A/L හොඳින් සමත්වෙලා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

 

විශ්වවිද්‍යාලයේදී රැග් වුනේ නැද්ද?

අම්මෝ.... හොඳටම රැග් වුණා.

 

වැඩිපුර රැග්වුණ සිද්ධිය මතක් කරමුද?

වැඩියෙන්ම රැග් වුණේ එක දවසක් අපේ කැම්පස් එකේ අයියලා 4 දෙනෙක් අපිව එහි තියෙන උඩම තට්ටුවට එක්කගෙන ගියා. ඒ ගිහින් මට කිව්වා ඒ උඩම තට්ටුවෙන් බිමට පනින්න කියලා. ඒ වෙලාවෙ මට හිතුණෙ ඇත්තටම කියන්නෙ කියලා. මම ඉතින් එතනට වෙලා බලාගෙන ඉන්නවා කරන්න දෙයක් නැතිව. ඇඬෙන්නම එනවා. හොඳටම දාඩියත් දාලා. බලද්දි මෙයාලා විහිළුවට කියලා තියෙන්නේ. ඒ වුණත් මම බයවුණු විදියට පැයක් විතර ඇඬුවා. ඒ තරමට බය වුණා. ඒ සිදුවීම නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.

 

රුක්ෂානා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙද්දි කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධවෙලා හිටියද?

නෑ මම විශ්වවිද්‍යාලයෙ දෙවෙනි වසරෙ ඉද්දි ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

 

එතකොට පාසල් කාලෙදිත් නර්තන රංගන කටයුතුවලට සම්බන්ධවෙලා හිටියද?

ඔව්. මම මුද්‍රා නාට්‍යවලට ගොඩක් සම්බන්ධවෙලා හිටියා. පොඩි කාලෙදි මට අවුරුදු 15ක් වගේ වයසෙදි මුද්‍රා නාට්‍ය තරඟෙකට ඉන්දියාවෙත් ගියා. ජිවිතේ පළමු වතාවට. එයිනුත් අපි දකුණු ආසියා ප්‍රථම ස්ථානය ලබා ගත්තා.

 

ඒ කියන්නෙ පොඩි කාලෙ ඉඳන්ම කලාව ඇඟේ තිබිලා තියෙනවා?

පොඞ්ඩක් තියෙන්න ඇති. ඒ වගේම රංගනයටත් ආසයි. ඊට අමතරව ක්‍රීඩාත් කළා.

 

ඒ කාලෙ පාසලෙත් ජනප්‍රියයිද?

ඔව්. පාසලේ ගොඩක් අය මාව දන්නවා. හේතුව මම ක්‍රීඩා කරපු නිසා. ඒවා ගොඩක් බලපෑවා ජනප්‍රිය වෙන්න. ඒ වගේම පද්‍ය ගායනාවලටත් සම්බන්ධ වෙනවා.

 

පාසල් යන කාලෙ ප්‍රේම සම්බන්ධතා එහෙම තිබුණද?

ඔව් ඔව් තිබුණා.

 

මුල්ම සම්බන්ධය ගැන කිව්වොත්?

මුල් ප්‍රේම සම්බන්ධ තිබුණේ මම 12 වසරෙදි.

 

ඒ සම්බන්දෙට මොකද වුණේ?

ඒකට වුණේ ඇත්තම කිව්වොත් එයාලගෙ ගෙදරින් කැමති වුණේ නෑ. මොකද එයා පෝසත් කෙනෙක්. ඒ නිසා ඒ ආදරේ එහෙමම ඈත්වෙලා ගියා.

 

එතකොට ඒ ප්‍රේම විරහව තවමත් හිතට දැනෙනවද?

ඇත්තටම ඒක ගොඩක් හිතට දැනෙනවා. ඒ කාලෙ අද වගේ දවසින් දෙකෙන් ගොඩක් දුර යන සම්බන්ධතා නෙමෙයිනෙ තිබුණෙ. ටිකින් ටිකනෙ ආදරේ ප්‍රකාශ කරන තැනට එන්නෙ. මුලින්ම බලනවා, හිනාවෙනවා, ඒවනෙ තිබුණෙ. ඒ වගේම මට එයාව මුණ ගැහුණෙත් ලොජික් ක්ලාස් එකේදි. ඒ ක්ලාස් එක තිබුණෙ අඟහරුවාදා දවසක. ඉතින් සතියක් ගෙවිලා ඊළඟ සතියෙ අඟහරුවාදා වෙනකම් බලන් ඉන්නෙ එයාව දකින්න. මොකද ඉතින් අද කාලෙ වගේ ෆෝන්ස් එහෙම තිබුණෙත් නෑනෙ ඒ දවස්වල. ඇත්තටම හරි සුන්දර කාලයක් ඒ ගෙවුණෙ.

 

දැන් පෙම්වතෙක් ඉන්නවද?

ඔව් ඉන්නවා. ඒ ගැන ඉදිරියේදී කියන්නම්. ඔහු කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. නමුත් නළුවෙක් නම් නෙමෙයි.

 

රුක්ෂානා කලා ක්‍ෂේත්‍රයට එන්න කලින් රංගනය, නර්ථනය හැදෑරුවාද?

මම විශ්ව විද්‍යාලයේදී හැදෑරුවා. නාට්‍ය කලාව සහ නර්තන කලාව, නාට්‍ය කලාව පිළිබඳ තරුණසේවා සභාවෙන් පාඨමාලාවක් හැදෑරුවා අවුරුද්දක. ඒ විදියට හදාරලා තමයි ටිකින් ටික මේ ක්‍ෂේත්‍රයට ආවේ.

 

රුක්ෂානා කලා ක්‍ෂේත්‍රයට එන්නෙ පුංචි තිරයෙන් නේද?

ඔව්. මම මුලින්ම රඟපෑවෙ උතුම් පැතුම් ටෙලිනාට්‍යයේ.

 

කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?

උතුම් පැතුම් නාට්‍යයේ නිෂ්පාදකතුමා උපුල් ජයසිංහ මහත්මයා ඉන්නෙ අපේ අල්ලපු ගෙදර. ඉතින් මම රඟපාන්න තියෙන ආසාව නිසාම කොහොමහරි අම්මත් එක්ක එහෙ ගිහින් ඔහුව හමුවෙලා කිව්වා “අංකල් මට රඟපාන්න පොඩි කෑල්ලක් දෙනවද” කියලා.

 

ඉතින් කවුරුත් එහෙම අවස්ථාවක් දෙන්නෙ නෑනෙ.

ඒත් කොහොමහරි ඔහු ඊළඟ කරපු ටෙලිනාට්‍යය උතුම් පැතුම් හි මට චරිතයක් දුන්නා. මුලදී මාව අධ්‍යක්‍ෂණය කළේ සඳුන් රාජකරුණා මහත්මයා.

 

ඉතින් ඒ චරිතෙන් පස්සෙ රඟපෑමේ උණ හොඳ වුණාද?

ඇත්තටම මම හිතාගෙන හිටියෙ රඟපානවා කියන එක හරිම ලේසියි කියලා. නමුත් එතැනට ගියාට පසුව තමයි තේරුණේ හරි අමාරු වැඩක් කියලා. අපි හිතන තරම් සුන්දර ලෝකයක් එතන නෑ.

 

රුක්ෂානාට නර්තන කණ්ඩායමක් තියෙනවා නේද?

ඔව් නර්තන කණ්ඩායමක් සහ නර්ථන පන්තියක් තියෙනවා. ඒ පන්තියෙ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ තියරි සහ ප්‍රැක්ටිකල් දෙකම තියෙනවා. නර්ථන කණ්ඩායමෙ වැඩ කටයුතුත් තියෙනවා. මම වැඩිපුරම ගෘහස්ථ ප්‍රසංගවලට තමයි සම්බන්ධ වෙන්නේ.

 

නර්ථන කණ්ඩායම බිහි කරලා කොයිතරම් කලක් වෙනවද?

මගේ නර්ථන කණ්ඩායම බිහි කරලා දැන් අවුරුද්දක් වගේ වෙනවා.

 

ප්‍රසංගවලට තියෙන ඉල්ලුම කොහොමද?

මේ වෙද්දි නම් බොහෝ ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තියෙනවා. විවාහ උත්සවවලට තමයි ගොඩක්ම යන්නේ.

 

ගෑණු ළමයෙක් විදියට නර්ථන කණ්ඩායමක් හසුරුවන එක අසීරු නැද්ද?

නෑ. ගෑණු ළමයි විතරයි මගෙ කණ්ඩායමේ ඉන්නෙ. ඒක යම්කිසි මට්ටමකට හසුරුවා ගත්තට පසුව අසීරු නෑ. මගෙ පරිපාලන වැඩකටයුතුවලට පුද්ගලයෙක් සම්බන්ධවෙලා ඉන්නවා. ඔහුගෙන් හැමදේටම හොඳ සහයක් ලැබෙනවා.

 

විවාහ උත්සවවලට හෝ යම් ප්‍රසංගයකට සම්බන්ධ වෙද්දි විවිධාකාර මිනිසුන් මුණගැහෙනවනෙ. ඒ වගේ මිනිසුන්ගේ බලපෑම්වලට එහෙම මුහුණපාන්න සිදුවෙලා නැද්ද?

අපි යම්කිසි කෙනෙක් සමඟ ක්‍රියා කරන විදියට තමයි ඒ කෙනා අපිට ප්‍රතිචාර දක්වන්නෙ. මම ඒක විශ්වාස කරනවා. ඒ කියන්නෙ අපි මනුෂ්‍යයෙක්ව පාලනය කරගන්නෙ කොහොමද කියන එක අපි දැනගන්න ඕනෑ. කෙනෙක් යම්කිසි වැරදි සිතිවිල්ලක හරි වැරදි දේක ඉන්නව නම් අපි හැමවෙලේම හිතන්න ඕනෑ අපි දෙයකට අකමැති නම් ඒ දේ ප්‍රතික්ෂේප කරන්න.

 

රුක්ෂානා ප්‍රසංගයකට කීයක් අය කරනවද?

අයිටම්වල ගාන අනුවයි. සහභාගි වෙන නර්ථන ශිල්පිනියන් අනුවයි ගණන් එකිනෙකට වෙනස් වෙනවා. ඒ වගේම ප්‍රසංග තියෙන තැන අනුවත් ඒ ගණන් බලපානවා. මොකද ට්‍රාන්ස්පෝට් ප්‍රශ්නත් එනවනෙ.

 

මේ ක්‍ෂේත්‍රයට එනවට ගෙදරින් කැමති වුණාද?

ඔව් ගොඩක් කැමතියි. අම්මයි ආච්චියි දෙන්නම, එයාලගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා.

 

රුක්ෂානා රංගනයට ආස නිසාමද ඒ සඳහා සම්බන්ධ වුණේ? නැත්නම් ජනප්‍රිය වෙන්න තියෙන ආසාව නිසාද?

ඕනෑම කෙනකුට ජනප්‍රිය වෙන්නත් ආසාවක් තියෙනවනෙ. නෑ කිව්වොත් ඒක බොරුනෙ. අපි ඕනෑ කෙනෙක් කැමැතියිනෙ ජනප්‍රිය වෙන්න. නමුත් මම ඇත්තටම රඟපාන්න යද්දි එහෙම අදහසක් තිබුණත් පසුව මට ඕනෑ වුණේ හොඳ නිළියක් වෙන්න විතරයි. කලාවට කුමක් හෝ දැවැන්ත දෙයක් කරන්න ආසාවක් පෙළඹවීමක් හිතේ තියෙනවා. දැන් මට පොඩි චරිතයක් ලැබුණත් ඒක හොඳටම කරන්න අධිෂ්ඨානය මට දැන් තියෙන්නෙ.

 

රුක්ෂානා සිනමාවටත් සම්බන්ධ වුණා නේද?

ඔව්. ඒක මට ලැබුණු හොඳම අවස්ථාවක්. මට කවදාවත් ටෙලි නාට්‍යයකින්වත් ලැබිලා නැති අවස්ථාවක් ලැබුණා. මම පළමුව සම්මුඛ පරීක්ෂණයකට සම්බන්ධ වුණේ. එහිදී පළමුවෙන්ම මට දෙබසක් කියන්න දුන්නා. ඒ කළාට පසුව තවත් දෙබසක් දුන්නා කියන්න. ඉතින් මට කියපු විදියටම ඒ දෙබස් කිව්වා. ඊට පස්සෙ එදාම හවස මට කතා කරලා කිව්වා මම ඒ වෙනුවෙන් තේරුණා කියලා. මාව අරගෙන තිබුණෙත් ප්‍රධාන චරිතෙට. ඒ චිත්‍රපටය තමයි ‘උලත් එකයි පිලත්’ එකයි.

 

අද කාලෙ ගොඩක් අධ්‍යක්‍ෂවරු නවක රංගන ශිල්පිනියන්ට තැන දෙන්නෙ ලස්සනට ද? දක්ෂතාවයට ද?

නිළියො ගනිද්දි නම් ඒක ගොඩක් බලපානවා. අපේ පැත්තෙන් අපි ලස්සන විතරක් හදාගත්තොත් අපිට රඟපාන්න වෙන්නෙ එක ටෙලිනාට්‍යයක හෝ දෙකක විතරයි. ඒත් ලස්සන නැතිවත් බෑ. මොකද මිනිස්සු විශේෂයෙන්ම ලස්සන කියන දේ බලනවා. ඒත් ඒ එක්කම දක්ෂතාවය කියන දේත් තියෙන්න ඕනෑ. නැත්නම් ඔක්කොම තාවකාලිකයි.

 

රුක්ෂානාත් රැල්ලට අහුවෙලා ඉන්න රංගන ශිල්පිනියක් ද?

අපි හැමෝම ඇත්තටම රැල්ලට අහුවෙලා ඉන්නෙ. ඒක නෑ කිව්වොත් බොරුවක්. මම රැල්ලට අහුවෙලා නෑ. සම්භාව්‍ය ඒවයේ විතරයි රඟපාන්නෙ කියලා අපිට කියන්න බෑ. දැන් තියෙන ආර්ථිකයත් එක්ක ලොකු නිර්මාණ බිහිවෙන්නේ නෑ ලංකාවේ. ඒ නිසා අපි හැහෝම නොදැනුවත්වම මේ රැල්ලට අහුවෙලා ඉන්නෙ. නමුත් මම කියන්නෙ මේ තියෙන මට්ටමට හරි අපි අපේ ඇඟ ඇතුළෙ තියෙන උපරිම දෙයින් තමන්ගෙ චරිතෙට සාධාරණයක් කරනව නම් ඒක තමයි නළුවකුගෙන් නිළියකගෙන් විය යුතු වෙන්නෙ.

 

අද තමන් විසින්ම ගොසිප් එකක් නිර්මාණය කර ගත්තොත් ඉදිරියට යන්න පුළුවන් නේද?

ඔව්..... මොකද තමන් විසින් ගොසිප් හදාගෙන භාගෙට ඇඳුම් ඇඳපු ෆොටෝස් අන්තර්ජාලයෙ දාලා ඒ වගෙන් ජනප්‍රියත්වයක් ලබා ගන්න කට්ටිය ඉන්නවනෙ.

 

රුක්ෂානාටත් ගොසිප් එකක් නිර්මාණය කරගන්න හිතිලා නැද්ද?

මට ඒ වගේ පහත් මානසිකත්වයක් නෑ. එහෙම කළත් ඒ දේවල් තාවකාලිකයි. මොකද භාගෙට ඇඳපු ෆොටෝ එකක් දැම්මත් කොල්ලො ඒවා මුලදි බලනවා. ඒත් ටික කාලයක් ගියාම ඒවා එපා වෙනවා. මම කියන්නෙ අද මිනිසුන්ට දෙයක් ඕනෑවෙලා හෙට එපා වෙන චරිතයක් වෙන්න ඕනෑ නෑ. අපි කරන එක චරිතයකින් හරි කෙනෙක් අපි ගැන හොඳ කතා කරනව නම් ඒක තමයි ජයග්‍රහණය.

 

කලාව වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරනවද?

ඕනෑම දෙයක් නෙමෙයි. නමුත් නිර්මාණයක් වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරනවා. ඒ ඇත්තටම මට චරිතයක් කරන්න දුන්නොත් මම ඒක බොහොම හොඳින් අධ්‍යයනය කරලා ඒකට හොඳ සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.

 

වෘත්තිය වශයෙන් ඔබ නිළියක් ද?

එහෙම කියන්නත් පුළුවන්. මොකද අපි මේ කලාව දැන් වෘත්තියක් කරගෙනනෙ ඉන්නෙ. මේ දෙයින් අපි සල්ලි හම්බ කරන්නෙ. එහෙම හිතන එක හොඳත් නෑ නමුත් ඇත්ත කතාව ඒකයි. නමුත් මම ලබාගත්ත උපාධියෙන් වැඩක් කර ගන්නත් ඕනෑ. ඉන් පසුව මගෙ ඊළඟ පියවර වන ශාස්ත්‍රපති උපාධිය අවසන් කරන්න ඕනෑ. ඒවත් කරගන්න අවශ්‍යයි.

 

තරුණ පරපුරේ ඔබ කැමතිම රංගන ශිල්පියා සහ ශිල්පිනිය කව්ද?

මම කැමතියි සාරංග දිසාසේකරට සහ ශලනි තාරකාට.

 

කැමතිම ගායකයා සහ ගායිකාව

ජූඞ් රොගන්ස් සහ ශෂිකා නිසංසලා.

 

රුක්ෂානාටත් සින්දු කියන්න පුළුවන් නේද?

ඔව්. ටිකක් පුළුවන්.

 

ගීතයක් කරන්න අදහසක් නැද්ද?

තවම නම් නෑ.... බලමු.

 

රුක්ෂානාට ඉන්දියාවෙ චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබුණොත් රඟපාන්න කැමති නළුවා කව්ද?

අම්මෝ..... මම කැමතියි රිතික් එක්ක රඟපාන්න.

 

සටහන - ධනු විජේරත්න

ඡායාරූප: චමත් වින්දුල

 

2017-01-23-ent-130
2017-01-23-ent-129