ලලිත්, කූගන් සොයාගන්න කෙහෙළියගෙන් උදව් නැතිලු


ලලිත් සහ කූගන් නමැති දේශපාලන ක්‍රියාකාරකයින් අතුරුදහන්වී වසර හතරක් සපිරුණද මෙතෙක් ඔවුන් පිළිබඳව තොරතුරක් නොමැති බව ලලිත්ගේ පියා ආරුමුගම් විජයරාජා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණට එක්වී දේශපාලන කටයුතු කරමින් සිටියදී එම පක්ෂය කොටස් දෙකට කැඩී පෙරටුගාමී පක්ෂය බිහිවීමත් සමගම ඊට සම්බන්ධවී ලලිත් සහ කුගන් දේශපාලන කටයුතුවල නිරතවූ බවත් සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔවුන් දෙදෙනා පැහැරගෙන ගිය බවට තොරතුරු ඇති බවත් ලලිත්ගේ පියා කීවේය.

පවතින තොරතුරු අනුව මේ දෙදෙනා කොතැනක හෝ රඳවා සිටින බව පවුල්වල උදවිය විශ්වාස කරන බවත් විජයරාජා පැවසීය.

ලලිත් අතුරුදහන්වීම නිසා පවුලේ ආර්ථිකය බිදවැටුණු බවත් ලලිත්ගේ මව පුතු නැති ශෝකය නිසා අසනීප තත්ත්වයෙන් පසුවන වගත් ඔහු සදහන් කළේය.

ලලිත් සහ කුගන් අතුරුදහන්වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොණු කොට ඇති නඩුව පිළිබදව අදහස් දැක්වූ නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසුවේ දැනට ඉදිරිපත් කර සිටින සාක්කිකරුවන් ලවා මොවුන් දෙදෙනා පැහැරගෙන යන ලද්දේ රජයේ ආරක්ෂක අංශ හා පොලිසිය බව අධිකරණයට ඔප්පු කිරීමට සූදානම් බවයි.

පසුගිය රජයේ හිටපු කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  ලලිත් හා කූගන් කුමන හෝ ස්ථානයක රඳවා සිටින බව පිළිගැනීමට සිදුවන බව පැවසූ හඬ පටය අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ලට අවස්ථා තුනකදීම අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් නියෝග කළත් ඔහු අධිකරණය මගහැර සිටීම නිසා පසුගිය නඩුවාරයේදී ඔහු අත් අඩංගුවට ගෙන මීළග නඩුවාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන මෙන් විනිසුරුවරයා වරෙන්තුවක් නිකුත් කළ බවද බෝපගේ මහතා පැවසීය.