( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සිල් රෙදි නඩුවෙන් වැරදිකරු වී සිරදඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා වලට අදාළ ලිඛිත දේශන ගොනු කරන්නැයි අභියාචනාධිකරණය අද (26) පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන්ට නියම කරන ලදී.
ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු විසින් ඉදිරිපත් කළ අභියාචනා දීපාලි විජේසුන්දර මහත්මිය සහ අචල වෙංගප්පුලි මහතාගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) කැඳවනු ලැබුවේය.
එහිදී අභියාචනාධිකරණය ඉදිරිපත් කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය විසින් ඔවුන්ගේ ලිඛිත දේශන ජනවාරි මස 03 වැනි දාට පෙර හෝ එදිනටද ලිඛිත දේශන ජනවාරි 17 දාට පෙර හෝ එදිනට ඉදිරිපත් කරන මෙන් ද අභියාචනාධිකරණය දෙපාර්ශවයටම නියම කළේය.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම තුළින් රජයට රුපියල් මිලියන 650 ක පාඩුවක් සිදු කළේ යැයි කියන චෝදනාවට වරදකරු කෙරුණු ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණය මඟින් වසර තුනක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කරනු ලැබුවේය.
එම දඬුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි පෙන්වා දෙන ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු එම දඬුවම් වලින් තමන්ව නිදොස්කොට නිදහස් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය වෙත මෙම අභියාචනා ඉදිරිපත් කර තිබේ.