ලයිට් - හෝන් ගහගෙන යන ප්‍රභූ වාහන ගැන ජනපති හොයයි


ප්‍රධාන ලාම්පු දල්වාගෙන අනවශ්‍ය ලෙස නලා ශබ්ද කරමින් අපරික්ෂාකාරී ලෙස මහමග ගමන් ගන්නා ප්‍රභූ රථ ගැන වහාම සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් තමන්ට ලබාදෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.

‘මේ විදියට පාරේ යන්නේ චොප්පෙ ද, වෙලේ සුදා ද, මරු සිරා ද, ආමි විමලේ ද කියලා කාටවත් හොයන්න බැහැ. එක දිගට වාහන හත අටක් ලයිට් ගහගෙන කඩාගෙන යනවා. පොලිසිය දන්නෙත් නෑ මේ වගේ කවුද යන්නේ කියලා. ඒ ගොල්ලන්ට වමත් නෑ. දකුණත් නෑ. වේග සීමාවක් නෑ. මොකක්වත් නෑ. එහෙම රටේ පාරවල්වල යන්න කිසි කෙනකුට හේතුවක් නෑ. මෙහෙම යන්නේ අපේ ඇමැතිවරුන්ද, නියෝජ්‍ය ඇමැතිවරුන් ද මහා ඇමැතිවරුන් ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද එහෙම නැත්නම් මහා අපරාධකාරයෙක් ද කියලා කවුරුත් දන්නේ නැහැ. මෙහෙම යන්නේ ප්‍රභූවරුන් නම් එයාලත් කවුද කියලා දැනගන්න ඕනෑ නිසයි පොලිස්පතිට එහෙම නියෝග කළේ‘ යැයි ජනපති කීය.

ජනපති මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව තවත් සංවිධාන රැසක සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ජාතික මාර්ග ආරක්ෂණ සතිය ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේදී අද (1)  පෙරවරුවේ ආරම්භ කරමිනි.

‘පරිස්සමෙන් ගිහින් එන්න’ නමින් නම් කර ඇති මෙම මාර්ග ආරක්ෂණ සතිය අද සිට දෙසැම්බර් 7 වැනිදා දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙනු ඇත.

මාර්ග ආරක්ෂණ සමාරම්භක උළෙලට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ජාතික පාසල්වල මාර්ග ආරක්ෂණ කව නිර්මාණය කිරීම, පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ ශ්‍රේණිගත කිරීමේ ජාතික වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම ආදී වැඩසටහන් රැසක් ද අද සිදුකෙරේ. 

RDS_6015 RDS_6030 RDS_6036 RDS_6053 RDS_6078