ඩයනා උදයංගනී
අයවැයක් සකස් කර ඉදිරිපත් කරන තෙක්, ලබන වසරේ මුල් මාස 4 සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලෙස රුපියල් බිලියන 1,735ක මුදලක් වෙන්කර ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ බව සම කැබිනට් ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
රජයේ පොදු සේවාවන් පවත්වාගෙනයාම සඳහා රුපියල් බිලියන 760ක්, වියදම් දැරීම සඳහා දැනටමත් විවිධ නීති මගින් බලය ලබාදී ඇති වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 970ක්, රජයේ අත්තිකාරකම් ගිණුම් කටයුතු සඳහා රුපියල් බිලියන 5ක් වශයෙන් මෙම මුදල වෙන්කර ගැනීමට නියමිත බව සම කැබිනට් ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

