ලන්ඩන් මහමෙව්නාවේ බුදුමැදුර පිළිසකර කරයි


ලන්ඩන් නුවර මහමෙව්නා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ බුදුමැදුර අලුත් වැඩියා කිරීමෙන් අනතුරුව බෝධි පුජා පින්කමක් පවත්වා විවෘත කරනු ලැබීය.

මහමෙව්නා අසපුව පිහිටා ඇත්තේ කලබල කාරී ලන්ඩන් නුවරින් බැහැර නිසංසල ග්‍රාමීය පරිසරයක් ඇති බැසිල්ඩන් ග්‍රාමයේය.

ලන්ඩන් නුවර අසපුව ආරම්භකර ඉතා කෙටි කාලයකින් එහි පැවැත්වෙන පිංකම් සඳහා සහභාගීවන බැතිමතුන්ගේ සංඛ්‍යාව ශීග්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් සති අන්තයන්හි එම පිංකම්  සදහා බැසිල්ඩන් අසපු මුලස්ථානයට අමතරව වෙනත් නගර කිහිපයකදීද පැවැත්වීමට පියවර ගැනීමට සිදුවිය.

මේ අතර මුලස්ථානයේ අවශ්‍ය ඉඩ පහසුකම් ඇති ධර්මශාලාවක් සහ ස්වාමීන්වහන්සේලාගේ භාවනා කටයුතු සඳහාත් නවාතැන් පහසුකම් සඳහාත් ප්‍රයෝජනයට ගත හැකි කුටි සංකීර්ණයක් ඉදි කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.

මෙම වැඩපිළිවෙළෙහි ආරම්භයක් වශයෙන් අසපු මුලස්ථානයේ බුදුමැදුර අලුත්වැඩියා කරනු ලැබීය.

ලන්ඩන් මහමෙව්නා අසපුවේ සැදැහැවතුන්ගේ සහයෝගයෙන් ඉතා කෙටි කාලයකින් මෙම වැඩකටයුතු සම්පුර්ණ කිරීමට හැකිවිය.

නව බුදුමැදුර විවෘත කිරීම වෙනුවෙන් මහමෙව්නා භාවනා අසපුවේ ස්වාමින්වහන්සේලා විසින් පැවැත්වුණු බෝධි පුජාවට මහ පිරිසක් එක් වුහ.