ලන්ඩන් මහමෙව්නා වෙසක් පිංකම


මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නා  අසපුවේ  වෙසක් පිංකම සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්  පැවැත්විණි. එතරම් පිරිසක් සඳහා විහාරස්ථානයේ ඉඩපහසුකම් සැපයීම අසීරුවූ නිසා පිංකම පවත්වන ලද්දේ ඒ අසල පිහිටි සුවිසල් ශාලාවකය.

පිංකම ආරම්භවූයේ උදෑසන හතට මහමෙව්නාව අසපුවෙහි බුදුදහම හදාරන දරු දැරියන් සියයකට වැඩි ප්‍රමාණයක්ද වැඩිහිටි දායක කාරකාදීන් හයසීයකට වඩා වැඩි ප්‍රමාණයක්ද අටසිල්හි පිහිටුවීමෙනි. උදෑසන කිරිපිඬු දානය සහ ඉන්පසු පැවැත්වූ සම්බුදු ගුණ සිහිපත් කිරීම සඳහා දහසකට වැඩි සැදැහැවතුන් පිරිසක් එක්වුහ.

මහමෙව්නාවේ නිර්මාණශිලී තරුණ දායකයන් පිංකම පැවැත්වූ ශාලාව ඉතාමත් අලංකාර අන්දමට සකස්කර තිබුනේ ලන්ඩනයේ මහමෙව්නාව භාවනා  අසපුව සඳහා ශ්‍රී ලංකාවේදී විශේෂයෙන් නිර්මාණයකරනලද බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩමවා අලංකාර බුදුකුටියක් ශාලාව මධ්‍යයේ නිර්මාණයකිරීමෙනි. බුදුරජාණන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විදහා දැක්වෙන අන්දමට මෙම නව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇත්තේ මහමෙව්නා අසපු  ලොකු ස්වාමීන්වහන්සේ වන   කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේය.

සිල් සමාදන්වූ දරු දැරියන් වෙනුවෙන් මහමෙව්නා අසපුවේ   අර්ථවත් වැඩසටහන් සුදානම්කර තිබිණි. ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වූ මෙම වැඩසටහන් අතරට දරු දැරියන් විසින් බුදුදහම පිළිබඳ ඔවුන්ගේ දැනුම විදහා දක්වන කතා සහ දේශන මෙන්ම භාවනාමය වැඩසටහන්ද ඇතුළත් විය.

දැනට ලන්ඩන් අසපුවේ ස්වාමීන්වහන්සේලා හතර නමක් වැඩ සිටිති. උන්වහන්සේලා සහභාගීවූ වේදල්ල ධර්ම සාකච්ඡාවෙන් බුදුන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ඉගෙනගැනීමේ අවස්ථාවද පිංකමට සහභාගීවූ සියලුදෙනාටම ලැබිණි.

පිංකම අවසාන කරනලද්දේ සිරි ගෞතම බෝධි වන්දනාවෙනි.

මහමෙව්නා අසපුවටම ආවේනිකවූ අන්දමට පිංකමේ කටයුතු ඉතාමත් කාර්යක්ෂම අන්දමට පැවැත්වුණ අතර ඒ සඳහා සහභාගීවූ සියලුමදෙනාත්, න්කමට සහභාගීවූ සියලුම ගිහි සැදැහැවතුන් ශ්වේතවර්ණ රෙදිපිළි පමණක් ඇඳසිටීමද විශේෂයෙන් කැපී පෙනිණි.

වෙසක් පුන් පොහොය වෙනුවෙන් මහමෙව්නා අසපු භුමිය මනරම් වෙසක් පහන් කුඩු රැසකින් අලංකාර කර තිබිණි.