ලන්ඩන් පංසල මැන්ඩෙලා සිහිකරයි


අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අසාමාන්‍ය මානුෂිකත්වය සිහිපත්කර පිං පැමිණවීම සඳහා මෙම ඉරුදින සවස 5 ට බුද්ධපුජා පිංකමක් ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති  බෝගොඩ සීලවිමල නාහිමියන් විසින් සුදානම්කර කැරෙන මෙම පිංකම සඳහා සහභාගීවන ලෙස සියලුම දෙනාට ආරාධනා කරන බව ලන්ඩන් බෞද්ධ විහාර දායක කමිටුව දන්වා ඇත.

තම ජන්මභුමියේ පැවති ධනේශ්වර සුදු ජාතිකන් සුළුපිරිසක යටතේ වර්ණ වාදය මුල්කරගත් අයුක්ති සහගත පාලනයට එරෙහිව සටන්කොට වසර 27ක් හිරබත් කැ ඔහු පසුකලෙක දකුණු අප්‍රිකාව එක්සත් කර වර්ණබේදවාදය තුරන් කිරීමේ මහ මෙහෙවරක් ඉටුකළේය.

දකුණු අප්‍රිකාවේ මේ වෙනස සිදුකිරීමේදී එහි නායකත්වය ලබාදුන් මැන්ඩෙලා තමාහට මෙන්ම අනෙකුත් සියලුම අප්‍රිකා කළු ජාතිකයින්හට අප්‍රමාණ අසාධාරණ කම් සිදුකළ සුදු ජාතිකයින්හට අබ මල් රේණුවක තරමේවත් අහිතක් වෛරයක් හෝ හිත් අමනාපයක් නොපෙන්වා කරුණාව මෛත්‍රිය පෙරදැරිකරගත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය. ඔහු තුල තිබු මේ අසාමාන්‍ය "මනුස්සකම"  ලොව ලොකු කුඩා සියලුදෙනාගේම අතිමහත් ගෞරව බහුමානයට ලක්විය.

"මෙවැනි මිනිසුන් ලෝකයේ පහළවන්නේ කලාතුරකින්" බව පැවසු සීලවිමල හිමියෝ "එවැනි උදාර පුද්ගලයෙකුගේ වියෝව අප හැමදෙනාගේම කණගාටුවට හේතුවන්නක් බවත් එවැන්නෙකු උදෙසා අපගේ විශ්වාසයේ හැටියට සුදුසු උපහාරයක් දැක්වීම වටිනා" බවත් කීහ.