යුරෝපා සංගමයට අයත් නොවන රටවල සංචාරකයින්ගේ හදිසි අසනීප සඳහා පිළියම් ප්‍රතිකාර කිරීමේදී වැය වන වියදමට වඩා 150% ක මුදලක් අයකිරීමට අවශ්‍ය නීති පැනවීමට බ්‍රිතාන්‍ය රජය සැරසෙයි.
දැනට ඇති ප්‍රතිපත්තිය වන්නේ බ්‍රිතාන්‍යයට පැමිණෙන ඕනෑම කෙනෙකුට නොමිලයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමයි.
මෙම සම්ප්‍රදාය දඩමීමා කර ගනිමින් බොහෝ දෙනා සියලු නවීන පහසුකම් ඇති බ්‍රිතාන්‍යයේ රෝහල්වලදී හදවත් සැත්කම්, පිළිකා රෝග සහ දරු ප්‍රසුති ඇතුළු බොහෝ අසනීප සඳහා නොමිලයේ ප්‍රතිකාර ලබාගැනීමට බ්‍රිතාන්‍යයට පැමිණෙති.
විශේෂයෙන් අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග රටවලින් මේ අන්දමට අසාධ්‍ය රෝගීන් නොමිලයේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එංගලන්තයට යැවීමේ කුට ව්‍යාපාරයක් ක්‍රියාත්මකවන බව හෙලිවුයේ මීට වසර බොහෝ ගණනකට පෙරාතුවය.
මෙම ජාවාරම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවයට වසරකට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 500 ක් (රුපියල් ලක්ෂ 510) කට වඩා වැයකිරීමට සිදුව ඇත.
මේ මුදල අයකරනුයේ එරට රැකියා කරන අයගේ බදු මුදලින් වීම හේතුවෙන් මේ ගැන රට පුරාම විශාල විරෝධ තාවයක් පැන නැඟුණි.
මේ හේතුවෙන් කලක සිට බ්‍රිතාන්‍යයෙදී උපදින දරුවන් සඳහා පුරවැසි භාවය හිමිවීමේ නීතිය අවලංගු කරනු ලැබීය.
දැන් ඉදිරිපත් කිරීමට සුදානම් කර ඇති නීතියට අනුව බ්‍රිතාන්‍යයට පැමිණෙන යුරෝපා සංගමයෙන් බාහිර රටවල පුරවැසියන්ගෙන් සෞඛ්‍ය සේවාවන් සඳහා යන වියදම අයකර ගැනීමට කටයුතු යොදනු ඇත.
මෙම නීතිය ක්‍රියාත්මක වුවහොත් බ්‍රිතාන්‍යයේ නීත්‍යානුකුලව රැකියා සඳහා හෝ අධ්‍යාපනය සඳහා පැමිණෙන යුරෝපා සංගමයෙන් බාහිර රටවල පුරවැසියන් හටද සෞඛ්‍ය පහසුකම් සඳහා මෙවැනි විශාල ගෙවීමක් සිදු කිරීමට සිදුවනු ඇත.
මෙම මුදල් අදාළ රෝගීන්ගෙන් අයකර ගනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කර නැතත් එම වගකීම අදාළ රෝහල් බාරකාර මණ්ඩල වලට පැවරීමට යන බවට යෝජනා වී ඇත.
එහෙත් නව යෝජනාවලිය පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය වරුන් පවසා ඇත්තේ " ඔවුන්ගේ රාජකාරිය රෝගීන් ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම මිස සංක්‍රමණ නීති ක්‍රියාවට නැංවීම නොවන" බවය.
පසිගිය වසරේ ලන්ඩන් නුවර දරු උපත් සංඛ්‍යා ලේඛන වලට අනුව වැඩිම දරු උපත් සිදුව ඇත්තේ පෝලන්ත ජාතික දෙමාපියන්ටය. දෙවන ස්ථානය සෝමාලියානු දෙමාපියන්ටත්, තුන්වන ස්ථානය ඇෆ්ගනිස්තානු දෙමාපියන්ටත්, හතරවන ස්ථානය පකිස්තානු දෙමාපියන්ටත් පස්වන ස්ථානය ඉංග්‍රීසි දෙමාපියන්ටත් ලැබී ඇත. මෙම සංඛ්‍යා ලේඛන සලකා බැලීමේදී ලන්ඩන් නුවර අනාගත ජන වාර්ගික තුලිනතාවය ඉංග්‍රීසි ජාතිකයින්ගෙන් ගිලිහීයාමට හොඳටම ඉඩ ඇති බව නිරීක්ෂකයින් පෙන්වා දී ඇත.



