ලන්ඩනයේදී නිල් සහ කොළ හාමු වෙයි


පසුගියදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ සහ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සාමාජිකයින් අතර සුහද ක්‍රිකට් තරගාවලියක් පැවැත්විණි.

එම්.එච්.මොහමඩ් කුසලානය සහ පරාක්‍රම රණසිංහ  අනුස්මරණ කුසලානය ලෙස නම්කර තිබු තරගාවලිය සඳහා පක්ෂ දෙකෙහිම සාමාජික සාමාජිකාවන් මෙන්ම ඔවුනගේ හිත මිත්‍රාදීහු විශාල සංඛ්‍යාවක් සහභාගිවුහ.

1976 දී බ්‍රිතානයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව ආරම්භ කිරීම සඳහා හිටපු ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන මහතා සමඟ පුරෝගාමීව ක්‍රියාකළේ එම්.එච්. මොහොමඩ් මහතාය.

හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලන්ඩන් ශාඛාවේ සභාපති ලෙස පත් කැරුණු පරාක්‍රම රණසිංහ මහතා එම ශාඛාව වැඩිදියුණු කිරීම සඳහා ඉමහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළේය.

වෘතියයෙන් නීතිඥයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයින් බොහෝ සංඛ්‍යාවකට අගනා සේවයක් සලසන අයකු  වශයෙන් ජනාදරයට පත්ව සිටියි.

මෙම සුහද ක්‍රිකට් තරගාවලිය එම දෙදෙනාගේ නමින් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලද්දේ ඔවුන් විසින් පක්ෂ ශාඛාවන්ට මෙන්ම පොදුවේ ශ්‍රී ලාංකිකයින්හට ලබාදෙන ලද සුවිසේශී සේවාවන්ට ගරු කිරීමක් වශයෙනි.

" අලියා එන්ටර්ටෙන්ට්මෙන්ට්" සමාගම අනුග්‍රහය දැක්වීය.

ඕවර් 30 කට සීමාවූ පළමු තරඟයේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ දිලාල් තිලකරත්න විසිනි.

චුලා ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේය.

කාසියේ වාසිය දිනු එජාප කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඕවර් 30 අවසානයේ ඔවුහු ලකුණු 198 ක් ලබාගත්හ. ලකුණු 55ක් රැස් කළ දිල්ශාන් එම වාරයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී.ල.නි.ප කණ්ඩායමට ඕවර් 30 අවසානයේ කඩුලු  9ක් දැවී ලකුණු 195 රැස්කිරීමට සමත් විය. 

එම තරඟය එජාප කණ්ඩායම ජයගත්තේ ලකුණු 3 කිනි. හොඳම පිතිකරු ලෙස දිල්ශාන් තේරුණු අතර හොඳම පන්දු යවන්න වුයේ ෆ්රෑන්ක් ය. නසොමි හොඳම ක්‍රීඩකයා  විය.

ඕවර් 40 තරඟයේ ජය ශ්‍රී.ල.නි.ප. ශාඛාවට හිමි විය.