ලග්ගල කොල්ලයේ කෙරුමා අල්ලයි


පොලිසියෙන් බව කියමින් ලග්ගල හත්තොටඅමුණේ මැණික් ව්‍යාපාරිකයාගේ  නිවසට ඇතුළු වී  රුපියල් කෝටී  එකහමාරක  මැණික්, රන් හා මුදල් කොල්ලය සිදු කළ බවට සැක පිට  යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළකු (ආමි ජිනේ) ඇතුළු  හය දෙනකු  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුවන් අතර මංකොල්ලකෑම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට නිදහස් වූ කිහිප දෙනකු ද සිටින බවත්, මේ කොල්ලය බන්ධනාගාරයේ සිටියදීම සැළසුම් කර ඇති බවත් පොලිසිය පවසයි.

පසුගිය බ්‍රහස්පතින්දා (24) රාත්‍රී  ලග්ගල හත්තොට අමුණ  මැණික් ව්‍යාපාරික  යූ ජී මුතුබණ්ඩා  මහතාගේ නිවසට වලාන දුෂණ මර්දන ඒකකයෙන් බව පවසමින් ඇතුළු වි  රුපියල්  කෝටියක මුදල් , රන් බඩු හා ලක්ෂ පනහක් වටිනා  මැණික් ගල්  පැහැරගෙන ගිය බවට පොලීසියට පැමිණිලි ලැබිණි.

මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  සජීව මැදවත්ත මහතා  පොලිස් කණ්ඩායම් කිහිපයක්  පරීක්ෂණ සදහා යෙදවීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පෞද්ගලික ඔත්තුකරුවකු හරහා ලැබුණු  තොරතුරක්  මත සීගීරිය ප්‍රදේශයේ පදිංචි    ‘ ආමි ජිනේ‘   අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී  සෙසු සැකකරුවන් පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

ඒ අනුව  ගම්පහ ,වේයන්ගොඩ, මිනුවන්ගොඩ ප්‍රදේශවලින්  සැකකරුවන් තිදෙනකු සහ කණ්ඩලම හා සීගීරීයෙන්  තවත් සැකකරුවන් දෙදනකු  අත්අඩංගුවට ගත් පොලිසිය සිද්ධියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ කොල්ලය සඳහා වෑන් රියක් හා ත්‍රීරෝද රථයක් භාවිත කර ඇතතැයි ද, එම වාහන දෙක වේයන්ගොඩින් හා සීගිරියෙන් සොයා ගත් බව ද පොලිසිය කියයි.

සොරා ගත් මැණික් විකුණූ මුදල් වලින් මිලදී ගත් බව කියන යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සීගිරියෙන් අත්අඩංගුවට ගත් හිටපු සෙබළා සතුව තිබී අත්මාංචු කුට්ටමක්, ඇත් දළවලින් නිපයූ බවට සැක කරන මුදු දෙකක් හා පතුරොම් උණ්ඩ 44ක් ද සොයා ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මැණික් ව්‍යාපාරිකයාගේ නිවසින් සොරා ගත් බවට සැකකර රන් මාල දෙකක් සහ රුපියල් අට ලක්ෂයක් ද සොයා ගත් පොලිසිය  සොරා ගන්නා ලද සෙසු භාණ්ඩ සොයා පරීක්ෂණ පවත්වයි.

මාතලේ උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ කොල්ලය සිදු කර පැය විසි හතරක් යන්නට මත්තෙන් මුල්ම තොරතුරු ලැබුණු බවත්, සතියක් ඇතුළත සැකරකුවන් අත්අඩංගුවට ගෙන සුළ මුළ හෙළි කර ගැනීමට ලැබීම විශේෂත්වයක් බවයි.

මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  සජීව මැදවත්ත මහතාගේ උපදෙස් පරිදි  මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක  එස් ආර් රාජපක්ෂ, කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  සුනිල් ඒකනායක , කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස් සිරිවර්ධන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිසුකර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.