
(තුසිත කුමාර ද සිල්වා)
විෂය පරීක්ෂණයකින් ලකුණු 40 ට අඩුවෙන් ලබා ගත්තැයි බේරුවල, මග්ගොන මුස්ලිම් විද්‍යාලයක විදුහල්පතිවරයකු විසින් 3 වසරේ ඉගෙනුම ලබන සිසුවකු පාසල් ගේට්ටුවෙන් එළියට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුවාගේ පියා විසින් අද (7) පැමිණිල කළ බව බේරුවල පොලිසිය පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවාගේ පියා අද(7) දහවල් පාසලට අනවසරයෙන් ඇතුළු වී තමන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කළ බවට විදුහල්පතිවරයාද පැමිණිලි කළ බව බේරුවල පොලිසිය කියයි.
ප්‍රාථමික පංතිවල ඉගෙනුම ලබන සිසුන්ගේ විෂය දැනුම මැන බැලීම සඳහා ඒ ඒ ශ්‍රේණි වෙනුවෙන් පවත්වන පරීක්ෂණ වලින් ලකුණු 40 ට අඩුවෙන් ලබාගත් සිසුන්ගේ දෙමාපියන්ට පාසලට පැමිණෙන්නැයි දැනුම් දී තිබූ අතර සිද්ධියට මුල් වූ මෙම සිසුවා ගේ පියාට ද අද දින පාසලට පැමිණෙන්නැයි දන්වා තිබූණත් ඔහු පාසලට නොපැමිණීම හේතුවෙන් මෙම සිසුවා පාසල් ගෙට්ටුවෙන් පිටමන් කර තිබූ බව පොලිසිය කියයි.
පසුව සිසුවා අඬමින් අසළ වෙළඳ සලක් ළඟ සිටියදී ඒ පිළිබඳව වෙළඳසැල් හිමියා එම සිසුවාගෙන් මේ පිළිබඳව විමසා පසුව පියාට දුරකතනයෙන් කළ දැනුම් දීම මත ඔහු දරුවාද සමග විදුහල්පතිවරයා අසලට ගොස් එලෙස කළේ ඇයි දැයි විමසා තිබේ. පසුව දෙදෙනා අතර කතාබහක් ඇති වී තිබෙන බවත් ඒ අනුව දෙපාර්ශ්වයම බේරුවල පොලිසියට පැමිණිලි කර තිබේ.
ලකුණු අඩුවෙන් ලබා ගත් සිසුන් පන්ති කාමරයෙන් පිටමන් කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝගයක් කර තිබේදැයි විදුහල්පතිවරයාගෙන් පොලිසිය විමසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය, විවිධ පැමිණිලි අංශය විමර්ශන සිදුකර යි.
.
බේරුවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සිල්වා , කාන්තාඋප පොලිස් පරීක්ෂක කුමාරි, පොලිස් සැරයන් ලාල්(41068) යන මහත් මහත්මිහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

