ලක්ෂ හය හමාරක දුම්වැටි හොරෙන් ගෙනල්ලා


 රුපියල් හය ලක්ෂ හතලිස් හතර දහසක් වටිනා විදේශීය සිගරට් කාටුන් හාරසිය තිස් නමයක් ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ‍්‍රී ලාංකිකයෝ හතර දෙනෙකු අවස්ථා දෙකක්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද  අළුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරුවන් අතර එක් කාන්තාවක්ද සිටින බව රේගුව කියයි. මොවුහු   කල්මුණේ සහ කොළඹ කොටිකාවත්ත යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ  වෙති. 

මොවහු ඊයේ අළුයම මෙරටට පැමිණ ඇති බවත් ඔවුන්ගේ ගමන් මළු වල තිබී මෙම සිගරට් තොගය සොයාගත් බවත් රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සී. විජේතුංග මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී සී පෙරිම්බනාදන්, නියොජ්‍ය  රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල් සහ සහකාර රේගු  අධිකාරීවරුන් වන තිලින විජේසේකර, කීර්ති හේරත්, රුවන් අල්විස්, කේ. ඥානමෝහන් සහ අසංග පෙරේරා යන නිලධාරීහු සිදු කරති.