ලක්ෂ 27 ක රන් කූර දොස්තර නැතුවම එළියට ගනී


රුපියල් ලක්ෂ විසි හතක් පමණ වටිනා  ඔප නොකල රන් කූරක් තම ගුද මාර්ගයේ  සගවාගෙන ඉන්දියාවේ දිල්ලි නුවර බලා යාමට  පැමිණි  ඉන්දියානු ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අද අළුයම  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු හතලිස් හැවිරිදි වියේ පසුවන බවත් ඔහු නේවාසික වීසා ලබාගෙන මෙරට මැණික් සාප්පුවක  සේවය කරන පුද්ගලයෙකු බවත් රේගුව කියයි.


ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර නිතර යාම් ඊම් සිදුකරන සැකකරු සතුව තිබී ඔප නොකළ රන්  වළල්ලක් සහ මුදු දෙකක්ද සොයා ගත් බව රේගුව කියයි. රන් කූර  උපත් පාලන කොපුවක බහා ගුද මාර්ගයේ සගවාගෙන සිටි බව රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබූ රන් වල බර ග‍්‍රෑම් 477  කි. 

සැකකරු ඊයේ අළුයම  එකයි තිහට පමණ එම්.ජේ 195 දරන  මිහින් ලංකා ගුවන්යානයෙන් ඉන්දියාවේ දිල්ලි නුවර වෙත යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී  නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ විමර්ශන ගුවන්තොටුපොළ රේගු අධයක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත සහකාර රේගු අධිකාරීවරුන් වන  එම්.ඒ අරුණ ශාන්ත, ඒ.එස් හේවාවිතාරණ, සී.පී කොට්ටහච්චි, එස්.සී ලොකු බාලසූරිය යන රේගු නිලධාරීහු සිදු කරති.