ලක්ෂ 20 මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රාත්‍රී සමාජ ශාලා සඳහා මත්ද්‍රව්‍ය සපයන පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය තොග වශයෙන්  ලබා දෙන 22 හැවිරිදි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

එම සැකකරු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් හා කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් පොලිස් භාරයට ගෙන ඇත.

වට්සැප් මාර්ගයෙන් ලැබෙන ඇමතුම් මත මත්ද්‍රව්‍ය තොග වශයෙන් විවිධ පුද්ගලයන්ට සපයන පුද්ගලයකු මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පිළියන්දල මඩපාත ප්‍රදේශයට පැමිණෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව සැකකරු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.