ලක්ෂ 12 ක රන් පුංචි පරිගණකයේ අලවලා


 රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක් වටිනා තුනී රත්තරන් පතුරු  දෙකක් ලැප් ටොප් පරිගණකයක අලවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

අත් අඩංගුවට ගනු ලැබු රන් පතුරු වල බර ග්‍රෑම් 250 කි.

සැකකරු  ශ්‍රීලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 171 දරණ ගුවන්යානයෙන් බැංගලෝරය බලා යාමට පැමිණි බවත්  ගුවන් යානයට ගොඩවීමට යන අවසන් සීමාවේදී ඔහු අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.
මේ පිළිබඳ රේගු පරික්ෂණය පැවැත්වු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නන්දසිරි තලහිටියගේ මහතා විසින් සැකකරුට රුපියල් තිස් දහසක දඩයක් නියම කොට එම රත්තරන් පතුරු දෙක රාජසන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නන්දසිරි තලහිටියගේ  මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදුකරති.