ලක් සේවිකාව සයිප්‍රස් නීතිඥයාගේ ගැටයට අහු නොවේ


            සයිප්‍රස් හිදී හදිසි අනතුරකට  ලක්ව  බරපතල තුවාල ලබා  වෛද්‍ය වාර්ථාවක්,  පොලිස් වාර්ථාවක් හෝ අනතුර සම්බන්ධයෙන් කිසිදු ලියකියවිල්ලක්  නොමැතිව මාස ගණනාවක් තිස්සේ අසරණව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ අයිතිවාසිකම් වෙනුවෙන්  නීතිමය පියවර ගනිමින් ඇයට රුපියල් විසි ලක්ෂ හැත්තෑ දහසක වන්දි මුදලක් ලබා දීමට සයිප්‍රස්හි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්  කාර්යාලයේ නිළධාරීහු සමත්  ඇත.

මාතලේ, උඩු මුල්ල, මාතලාපිටිය පදිංචි ජයසිංහ ආරච්චිලාගේ සුජාතා කුමාරි (37) යන තිදරු මව 2013 නොවැම්බර් 07 ඇය සේවය කළ සයිප්‍රස් නිවසේ කුනු විසිකිරීම සදහා යමින් සිටියදී මෝටර් රථයක හැපී බරපතල තුවාල ලබා සිහිසුන්ව රෝහල් ගත කර සිට  ඇත.

දින දෙකක් සිහිසුුන්ව සිටි  ඇය   දින දහයක්  ප්‍රථීකාර ලබමින් රෝහල් ගතව සිටින අතර තුරදී ඇයගේ  මිතුරියක් සහ මිතුරියගේ  හාම්පුතා   රෝහළට පැමිණ  අනතුර සම්බන්ධයෙන්  වන්දියක් ලබා ගත හැකි බව පවසා  ඔවුන් දන්නා  නීතිඥයෙකුට නඩුව බාර දෙන බවත් ඇයට මේ සම්බන්ධයෙන් කිසිවක් නොකරන ලෙසත්  උපදෙස් දී ඇත.

නමුත් මාස හයක් ගත වන තුරුත් කිසිම අවස්ථාවක උසාවියකට ඇයව කැඳවා  හෝ කිසිඳු විමසීමක් කර නොතිබු අතර  අතර නඩු අංකයක්, නඩු වාර්ථා, පොලිස් වාර්ථා කිසිවක් හෝ අය අනතුරට පත් කළ වාහනය පිළිබච කිසිදු තොරතුරක් ඇය සතුව නොතිබින.

මේ කාලය තුළ ඉතා අසරණව කාලය ගෙවු ඇයට හදිසියේ ඇයගේ යෙහෙළියක් අත නීතිඥයා විසින් පණිවිඩයක් එවා ඇත්තේ ඇයට වන්දි මුදලක් ලබා දෙන බවත් කිසිවෙකුටත්  නොදන්වා ලංකාවට යාමට ගුවන් ටිකට් පතක්ද  රැගෙන රහසිගතව නීතඥයා හමුවීමට  පැමිණෙන ලෙසයිි.

මේ බව දැනගත යුත්තේ ඔහුත් ඇගේ මිතුරියත් ඇයත් පමණක් බවත් නිතීඥයා පවසා  තිබුණි.

පසුව ඇයට මේ පිළිබඳව සැකයක් ඇති වී සයිප්‍රස්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට පැමිණ එහි තෙවන ලේකම් රුවන් ගුණතිලක මහතා හමු වී මේ පිළිබඳ සියළු විස්තර දැනුම් දී ඇත.

ඉන් පසු වහා ක්‍රියාත්මක වු එම නිලධාරීහු නීතිඥයා යැයි කී පුද්ගලයා  සොයා ගොස්  මේ පිළිබඳව විමසා ඇත. එවිට ඔහු සුජතාගේ වැරදි ක්‍රියාවන් පිළිබඳව ඇයට දෝෂාරෝපනය එල්ල කොට ඇත. පසුව  එම නිලධාරීහු ඇයගේ වාර්ථා  වල පිටපත් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතත් ඔහු ඒවා ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත් වෙනත් නීතිඥයෙකු මාර්ගයෙන් මෙම නඩුව ඉදිරියට ගෙන යන බවත් ලියකියවිලි ලබා නොදුනහොත් ඔහුට විරුද්ධව අධිකරණයේ පැමිණිලි කරන බවත් පැවසීමෙන් අනතුරව අදාල නීතිඥයා විසින් එම ලියකියවිලි ඔවුනට ලබා දී ඇත.

ඉන් පසුව එම නඩුව පිළිබඳ සියළුම වගකීම් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් විසින් බාර ගෙන එරට අධිකරණයට ගොස් ඇයට මෙම වන්දි මුදල ලබා දීමට කටයුතු කර  ඇත.

ඇය ඉදිරි සති දෙක කුලදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුව සිටී.

 ඇය  මේ පිළිබඳව පවසන්නේ
          ‘මගේ සැමියා මේසන් බාස් කෙනෙකු ලෙස වැඩ කරන අතර තුර ඔහු හදිසියේ  තද බල ලෙස රෝගාතුර වුනා. මගේ බාල දියණියට වයස අවුරුදු හතයි. ඇය වකුගඩු රෝගයකින් පෙළෙනවා ඉතිරි දරුවන් දෙදෙනා ඉගෙනීමට දක්ෂ වුනත් රෝගී සැමියාගේ සහ දියණියගේ අසනීප හමුවේ මා ඉතා අසරණ වුනා. ඒ නිසයි මා පසුගිය 2010 සැප්තැම්බර් 03 සයිප්‍රසයේ රැකියාවකට ආවේ.

පහුගිය 2013 නොවැම්බර් 07 වෙනිදා මා සේවය කළ නිවසේ කුණු  ටික විසි කිරීම සඳහා මා පාරේ රැගෙන යන විට මෝටර් රථයක් ඇවත් මගේ ඇගේ හැපුනා.

සිහිය එන විට මා සිටියේ රෝහලේ. පැය 18 කට පසුව මා හට සිහිය ආ බවත් මගේ කනෙන් හා නාසයෙන් ලේ ගැලූ බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළා. එසේම මගේ හිසට මැහුම් පහක් දමා ඇති බවත් මගේ මුහුණ තැලී ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළා. මගේ ඔළුව අත සහ කකුලක් හොඳටම තුවාල වෙලා තිබුනා.

මා බැලීම සඳහා රෝහළට පැමිණ සිටි මගේ යෙහෙළියක් විසින් මෙයාට වන්දියක් ගන්න නඩුවක් දමමු කීවා. ඇය සේවය කරන නිවසේ හාම්පුතාද ඒ අවස්ථාවේ හිටියා. ඔහුගේ හිතවත් නීතිඥයෙකුට එම නඩුව බාර දෙන බවත් ඔවුන් ප්‍රකාශ කළා. මම එයට එකග වුනා. පසුව එම නීතිඥයා මා  සමග කතා කළා. නඩුව අවසානයේ ඔහුගේ ගාස්තු ලබා ගැනීමටත් ඔහු එකග වුනා. මේ සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන නිසා මා හට කිසිවක් නොකරන ලෙස ඔවුන් උපදෙස් දුන්නා.

පසුව මා දින දහයකින් පමණ ටිකට් කපා මා සේවය කළ නිවසට ගියා. අසනීප නිසා මා හට වැඩ කිරීමට නොහැකි බැවින් මා හට වැටුප් නොගෙවා ටික කාලයක් එම නිවසේ තබා ගැනීමට මගේ හාම්පුතා එකග වුනා.

කොපමණ අපහසු වුවත් මගේ දරුවන් හා සැමියා ගැන හිතලා මම ටික දවසකින් වැඩ කරන්න පටන් ගත්තා. නමුත් ඔවුන් වැටුප් දීමට අකමැති වුනා. ඒත් මම දිගටම වැඩ කළා මගේ පවුල වෙනුවෙන් බැගෑපත් වුනා. පසුව ඔවුන් වැටුපෙන් බාගයක් ගෙවන්න පොරොන්දු වුනා.

මට අනතුර සිදු වෙලා මාස හයක් පමණ ගත වුනත් අර නීතිඥයා කිවු පරිදි කිසිම අවස්ථාවක  මට උසාවියකින් හෝ කිසිම තැනකින් කැඳවීමක් හෝ ඒ ගැන විමසීමක් කර තිබුනේ නැහැ. පොලිස් වාර්ථා, නඩු වාර්ථා, වෛද්‍ය වාර්ථා කිසිවක් මා ලග තිබුනේ නැහැ. මාව අනතුරට පත් කළ  වාහනේ අංකය හෝ රියදුරාගේ  නමවත්  මා දැනගෙන හිටියේ නැහැ.

දිනක් මගේ මිතුරියක් අත නීතිඥයා පණිවිඩයක් එවා තිබුනා මට යම් කිසි වන්දි මුදලක් ලබා  දෙන බවත් නමුත් එය ලබා ගැනීමට නම් මගේ හාම්පුතාටත් නොදන්වා රහසිගතව ලංකාවට යාම සඳහා ගුවන් ටිකට් පතක් ද රැගෙන මිතුරිය සමග රහසේ පැමිණ නීතිඥයා හමුවන ලෙසත්.  මේ බව දැනගත යුත්තේ මාත්,නීතිඥයාත්, මිතුරියත් පමණක් බවත් ඔහු පැවසු බව ඇය  කීවා.

 මට මේ පිළිබඳව සැකයක් හා බියක් ඇති වුනා. පසුව පසුගිය මැයි 27 වෙනිදා මම කෙලින්ම සයිප්‍රසයේ කොන්සල් ජෙනරාල් කාර්යාලයට ආවා. එහිදී මට එහි තෙවන ලේකම් රුවන් ගුණතිලක මහතා මුණ ගැසුනා. මා ඔහුට මේ සියළු විස්තරය කිව්වා.  ඒ මොහොතේ රුවන් සර් සංජීව සර්  මාවත් රැගෙන නීතිඥයා සොයාගෙන ගිහින් මේ ගැන ඇහුවා.

ඒ අවස්ථාවේ නීතිඥයා මගේ වැරදි කියා මට දෝෂාරෝපනය කරන්න ගත්තා.  පසුව සර්ලා මගේ නඩු වාර්ථා, වෛද්‍ය වාර්ථා, පොලිස් වාර්ථා හා මාව හප්පපු රියදුරාගේ විස්තර පිටපත් ලබා දෙන ලෙස ඉල්ලා හිටියා. නමුත් ඒ නීතිඥයා එය ප්‍රතික්ෂේප කළා. පසුව සර්ලා කිව්වා ඒවා ලබා දීමට නොහැකි නම් වෙනත් නීතිඥයෙකුගේ සහය ලබා ගෙන මෙම නඩුව ඉදිරියට ගෙන යන බවත් එහිදී ඔහුට විරුද්ධව අදිකරණයට පැමිණිලි කරන බවත්  කීවා.

පසුව ඔහු බිය වී ඉල්ලූ සියළු වාර්ථා වල පිටපත් ලබා දුන්නා. ඉන්පසු මා අනතුරට පත් කළ වාහනයේ අයිතිකරුට සහ රක්ෂණ ආයතනයේ ප්‍රධානියාටද කතා කළා. පසුව මින් ඉදිරියට එම නඩුව සම්බන්ධව  සියළු වගකීම් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් ගන්නා බවත් මේ සම්බන්ධව ඉදිරි කටයුතු මා සමග කතා නොකරන ලෙසත් කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් සමග පමණක් කතා කරන ලෙසත් නීතිඥයාට පවසා මා හටත් යම් දෙයක් ප්‍රකාශ කිරීමට ඇත්නම් නීතිඥයා සමග කතා නොකර සර්ලට කියන ලෙසත් කීවා.  සියළු දෙනා එයට එකග වුනා.

පසුව සර්ලා මාව අනතුරට පත් කළ රියදුරා සමගත් රක්ෂණ ආයතනය සමගත් සාකච්ඡා කළා.  පසුව මට වන්දි ලෙස යුරෝ 11500 (රුපියල් විසිලක්ෂ හැත්තෑ දහසක මුදලක් ලබා දුන්නා. නීතිඥයාගේ ගාස්තුද අදාල රක්ෂණ ආයතනය විසින් ගෙව්වා. මට කිසිඳු මුදලක් වැය කිරීමට සිදු වුනේ නැහැ.

තවම මට වැඩක් පලක් කරන්න බැහැ. බිම අතුගෑවත්  ඇග  වෙව්ලනවා, පපුව රිදෙනවා, මගේ කකුලේ ඇගිල්ලක් නවන්න බැහැ. ඉඑ එළිය වැදුන ගමන් මුළු ඇගම රිදෙනවා.  මේ අසනීප තත්වයන් නිසා මට තව සති දෙකක් විතර යනවා ලංකාවට එන්න. මම ලංකාවට ගිහින් මගේ බාගෙට හදලා තියෙන නිවසේ ඉතුරු වැඩ කටයුතු ඉවර කරලා අසනීප දරුවටයි මහත්තයටයි ප්‍රථීකාර කරලා මගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා.

ඒ වගේම මේ වෙලාවෙදි මට විශේෂයෙන්ම උදව් කළ කොන්සල් ජනරාල් කාර්යාලයේ තෙවැනි ලේකම් රුවන් ගුණතිලක මහතාත් භාෂා පරිවර්තක සංජීව කරුණාරත්න යන මහත්වරුන්ට ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම මට හැම විටම උදව් කළ පළමු ලේකම් මංජුල වාහල තන්ත්‍රී, නිකී කොන්සන්ත්‍රිනෝ මහත්මියත් ඇතුළු කොන්සල් ජනරාල් කාර්යාලයේ සියළුම නිලධාරීන් සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා‘‘.

(සයිප්‍රස්හි කොන්සියුලර් ජනරාල් පීරිස් පියරේ මහතා අතින් වන්දි මුදල සුජාතා කුමාරිට ලබා දුන් අවස්ථාව)

IMG_1973 IMG_1975