ලක් පර්යේෂකයන්ට ජගත් දොරටුවක්


පරිගණක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිර්මාණශීලී ශ්‍රී ලාංකික පර්යේෂකයින් ලොවට හඳුන්වාදීමේ ජාත්‍යන්තර සමුළුව මෙම ජූලි මාසයේදී පැවැත්වෙන බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා පැවසීය.

ඇමෙරිකාව මූලස්ථානය කරගත් ලොව ප්‍රසිද්ධ අයික්‍රිපලි සංවිධානය විසින් එම හඳුන්වාදීම සිදුකරනු ලබයි.

ලබන ජූලි මාසයේදී මෙම ජාත්‍යන්තර සමුළුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මෙවර සමුළුව පැවැත්වෙන්නේ පහළොස්වන වතාවටය.

පර්යේෂණ ඉදිරිපත් කිරීමට කැමැත්තක් දක්වන්නන්ට http/www.icter.org/icter2015 වෙබ් අඩවියෙන් තොරතුරු දැනගත හැකි බවය. සෑම පර්යේෂණ නිර්මාණයක්ම මැයි 15 දාට පෙර ලබාදිය යුතු බවත් මහාචාර්ය වික්‍රමනායක මහතා කීවේය.

ලැබෙන පර්යේෂණ වාර්තා අතරින් ගුණාත්මක බවින් හෙබි හොඳම පර්යේෂණ තිහක් තෝරාගනු ලැබේ. ඒවා තෝරා ගන්නේ දෙස් විදෙස්හි සිටින පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ හසල දැනුමකින් හෙබි විද්වත් මණ්ඩලයකින්ය.

හොඳම පර්යේෂණ නිර්මාණය හඳුන්වා දෙන ජාත්‍යන්තර සමුළුවට පරිගණක හා තොරතුරු තාක්ෂණ අංශයේ ලොව සුප්‍රසිද්ධ පරික්ෂක පිරිසක් මෙහි පැමිණෙයි.

මෙම කර්තව්‍ය තුළින් ශ්‍රී ලාංකික පර්යේෂකයින්ගේ කීර්ති නාමය කිසිදු වියදමකින් තොරව ලොව පුරා සටහන්වීම මෙහි විශේෂත්වයකි.

මෙම සමුළුව පැවැත්වෙන දිනවලම ඒ හා සමගාමීව යූබීඅයි මීඩියා ජාත්‍යන්තර සමුළුවද පැවැත්වීම තවත් සුවිශේෂත්වයකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය සංවිධානය කරනු ලබන නිර්මාණශීලීන් හඳුන්වාදීමේ සමුළුව සම්බන්ධීකරණය කරනුයේ මහාචාර්ය කේ.පී.හේවාගමගේ මහතා ඇතුළු පිරිසකි.

ජාතික විද්‍යා පදනම ඇතුළුව ශ්‍රී ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආයතන ලෙස සැලකෙන ‘කෝඩ් ජේන්‘, ‘අයිඑෆ්එස්‘, ‘කැම්බියෝ‘ යන ආයතන අනුග්‍රහය දක්වයි.