එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා මහතා පසුගිය 22 වැනිදා එහි මහලේකම් බෑන් කී මූන්ට අක්ත පත්‍ර භාර දීමේ උත්සවය ඇමරිකාවේ නිව්යෝක් නුවර එම සංවිධාන මූලස්ථානයේදී පැවැත්විණි.
අක්තපත්‍ර බාරදීමෙන් පසු දෙපාර්ශවය අතර වැදගත් සාකච්ඡාවක්ද පැවැති අතර ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ජාත්‍යන්තර ප්‍රජාවත් අතර වඩාත් පුළුල් සහයෝගීතාවයකට ධනාත්මක වාතාවරණයක් නිර්මාණයවී ඇතැයි මහලේකම් බෑන් කී මූන් එහිදී පැවසීය.
නව නිත්‍ය නියෝජිතවරයාගේ ප්‍රයත්නයට තමාගේත් කාර්ය මණ්ඩලයේත් පූර්ණ සහයෝගය ලබාදෙන බවද මහලේකම්වරයා එහිදී කීවේය.
ජාත්‍යන්තර ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ පියවර පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ වත්මන් සභාපතිත්වය හිමි රොහාන් පෙරේරා මහතා 2007 සිට 2011 වසර දක්වා ජාත්‍යන්තර නීති කොමිසමේ සාමාජිකයෙක්ද විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවකු වන ඒ මහතා 2010 මැයි මාසයේදී උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සාමාජිකයකුද විය.


