ලක් ජනපතිගෙන් සභාපතිකම මෝල්ටාවට


පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 53 අතර සිටින කුඩා රාජ්‍ය 31 රැක ගැනීමට මෝල්ටාව විශේෂ පරිශ්‍රමයක් දරණ බව මෝල්ටා අගමැති ජෝසප් මස්කට් අද (26) මෝල්ටා අගනුවර වැලේටා නුවර පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

මේ සඳහා  වන විශේෂ අරමුදලට තම රාජ්‍යය යුරෝ ලක්ෂයක් (රුපියල් 15118585.80) පරිත්‍යාග කරන බව මෝල්ටා අගමැති කීවේය.

2005 දී පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සත්කාරකයා වූ මෝල්ටාව සිකුරාදා සහ සෙනසුරාදා (27, 28) යළිත් එහි සත්කාරකයා වී සිටී.

මාධ්‍යධරණී මුහුදේ පිහිටි මෝල්ටාව මුහුදෙන් වට වූ කුඩා රාජ්‍යයකි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ කුඩා රාජ්‍යයන්හි ආර්ථිකය, ස්වභාවික විපත් හා ආපදා කලමනාකරණය ගැන විශේෂ අවධානය යොමු කළ යුතුව ඇතැයි ද මෝල්ටාව හතරවටින් ඇති මුහුදෙන් උපරිම සම්පත් නෙළා ගැනීම සඳහා වන යන්ත්‍ර සූත්‍ර හා සම්පත් සොයා ගත යුතුයැයි ද අගමැතිවරයා කීවේය.

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව විවෘත වේ. ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල ජාතික කොඩිවලින් අගනුවර සැරසී ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති සිකුරාදා (27) සත්කාරක රාජ්‍යයේ නායක ජෝසප් මස්කට්ට සභාපති ධුරය පිරිනමයි. සිරිසේන මහතා අද (26) සන්ධ්‍යාවේ මෝල්ටා අගනුවරට පැමිණීමට නියමිතය.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා ද සමුළුවට සහභාගී වෙයි.

වර්ග කිලෝමීටර 246කින් සමන්විත මෝල්ටාවේ ජනගහනය 410000ක් පමණවේ. ඉංග්‍රීසි හා මෝල්ටා භාෂා එහි භාවිත වේ.

(ආරියරත්න රණබාහු මෝලාටාවේ සිට)

12279126_771086676350437_8148945018827385567_n