ලංගමට බඩු ගන්න තැන් බලන්න කමිටු හතරක්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2025 වර්ෂය සඳහා අමතර කොටස්, භාණ්ඩ හා ද්‍රව්‍ය මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අමතර කොටස් හා උපාංග මිල දී ගැනීම, නව ටයර් කට්ටල සපයා ගැනීම, ප්‍රාදේශික සඳහා ටයර් පෙරසවි සේවා සැපයීමේ ආයතන තෝරා ගැනීම, ග්‍රීස් සහ ලිහිසි තෙල් සපයා ගැනීම හා නව එන්ජින් කට්ටල සපයා ගැනීම ඇතුළුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා 2025 වර්ෂය වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කළ යුතුව ඇත. 

එකී ප්‍රසම්පාදනයන් අතුරින් ප්‍රසම්පාදනයන් හතරක් (4) අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ අධිකාරි සීමාව ඉක්මවා යන බැවින්, එම ප්‍රසම්පාදන කටයුතු අමාත්‍ය මණ්ඩලය විසන් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව වෙත යොමු කළ යුතුව ඇත. 

ඒ අනුව, එකී ප්‍රසම්පාදනයන් වෙන් වෙන් වශයෙන් අමාත්‍ය මණ්ඩලය පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් ක්‍රියාත්මක කිරීමටත්, අමාත්‍ය මණ්ඩලය පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවට සහාය වීම පිණිස එම ප්‍රසම්පාදනයන් හතර (4) සඳහා වෙන් වෙන්ව තාක්ෂණික ඇගයීම් කමිටු 4 ක් පත් කිරීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.