(විමුක්ති එස් රුද්‍රිගු)
ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකාවට එරෙහිව පවරා ඇති නඩුව ඉවත දමන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාව ගොනු කළ මෝසම නිව්යෝර්ක් දිස්ත්‍රික් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි ‘හැමිල්ටන් රිසර්ව්’ බැංකුවට යැයි පැවැසෙයි.ඉකුත් ජූලි මස කල් පිරුණු සියයට 5.875 ක ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට ශ්‍රී ලංකාව මුදල් සහ පොලි නොගෙවීම හේතුවෙන් නිව් යෝර්ක් අධිකරණයේ චෝදනා ගොනු කළ ‘හැමිල්ටන් රිසර්ව්’ බැංකුව එහිදී තම බැඳුම්කර සඳහා පොලිය සහ මුදල එකවර ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදි.
ශ්‍රී ලංකාව ඉකුත් ජූලි මස කල් පිරුණු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා හැමිල්ටන් රිසර්ව් බැංකුවට මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 250.1 ක් සහ පොලිය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 7.3 ක මුදලක් ගෙවිය යුතු වේ.
ආර්ථික අර්බුදයකින් පීඩා විඳින රාජ්‍යයකට එරෙහිව මෙසේ එක් බැංකුවක් නඩු පවරා ඇත්තේ අනෙකුත් ණය හිමියන්ට වඩා විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තුවෙන් නිසාවෙන් යැයි පවසමින් මෙම නඩුව ඉවත දමන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර තිබිණ.
නිව් යෝර්ක් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරු ඩෙනිස් කෝට් විසින් මෝසම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. මෝසම ප්‍රතික්ෂේප වීම හේතුවෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්ලිෆර්ඩ් චාන්ස් සමාගමේ නීතිඥවරු පෙනී සිට ඇත.

