
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව වෙත හයිඩ්‍රජන් ආර්ථිකයක් හඳුන්වා දීමේ වත්මන් තත්ත්වය සහ ක්‍රමෝපායික ගමන්මග සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සැලකිල්ල යොමු වී ඇත.
කාබන් විමෝචනය අවම කිරීම සහ සිය බල ශක්ති මිශ්‍රය විවිධාංගීකරණය සඳහා ශ්‍රී ලංකාව විසින් තිරසර විසඳුම් සොයමින් සිටින අතර එහිදී ජාතික හා ගෝලීය දේශගුණික ඉලක්ක සමඟ අනුරූප වන ශක්‍ය විකල්ප බල ශක්ති මූලාශ්‍රයක් වශයෙන් හරිත හයිඩ්‍රජන් හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව බලශක්ති අමාත්‍යාංශය විසින් ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම දියත් කිරීම සහ සවිස්තරාත්මක පුනර්ජනනීය හයිඩ්‍රජන් ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීම ඇතුළු වැදිගත් මූලික පියවර කිහිපයක් මේ වන විටත් ගනු ලැබ තිබේ.
ඊට අදාළව ප්‍රතිපත්ති රාමුව වැඩි දියුණු කිරීම, විභව ගැටලු මඟහරවා ගැනීම සහ සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම සඳහා පුළුල් වූ පොදු එකඟතාවක් ඇති කර ගැනීම පිණිස මහජන අදහස් විමසීමේ වැඩමුළු සහ ප්‍රධාන පාර්ශ්ව කරුවන්ගේ වැඩමුළු පැවැත්වීමට බලශක්ති අමාත්‍යාංශය විසින් අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව දේශීය තත්ත්වයන් සහ අවශ්‍යතාවන්ට අනුකූලව සහ ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට සහ කාර්ය සාධන මිනුම් දඬු සමඟ අනුරූප වන පරිදි ශ්‍රී ලංකාවේ හයිඩ්‍රජන් ක්ෂේත්‍රය සකස් කිරීම සඳහා ගනු ලබන පියවර සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

