ලංකාවට නිදහස් වෙළෙඳ ගිවිසුමකට යන්න අවසර


(අංජුල මහික වීරරත්න)

'කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ' (RCEP) ගිවිසුමට ශ්‍රී ලංකාව ඇතුළත් වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

'කලාපීය විස්තීර්ණ ආර්ථීක භවුල්කාරිත්වය' යනු අග්නි දිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) සාමාජික රටවල් 10ක් සහ එම සංගමයේ රටවල් සමඟ දැනටමත් නිදහස් වෙළෙඳ ගිවිසුම් වලට එළඹ ඇති තවත් කලාපීය රටවල් පහක් වන ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, දකුණු කොරියාව සහ නවසීලන්තය සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන විස්තීරණ නිදහස් වෙළෙඳ ගිවිසුමකි. එම ගිවිසුම 2022-01-01 දින සිට බලාත්මක වන අතර, ඉන් මාස 18කට පසුව එනම්, 2023 ජූලි මාසයේ සිට අනෙකුත් අපේක්ෂිත පාර්ශ්ව රටවල ප්‍රවේශය සඳහා විවෘත කරනු ලැබ ඇත. එම ගිවිසුම යටතේ පාර්ශ්වයන් ඔවුන්ගේ තීරුබදු රේඛා වලින් 85% සිට 90% දක්වා තීරුබදු සම්පූර්ණයෙන්ම ලිහිල් කිරීමට පියවර ගත යුතු වේ. 

එකී ගිවිසුම වෙත ප්‍රවේශ වීම මඟින් ශ්‍රී ලංකාවට අපනයන සහ වෙළෙඳ පොළ විවිධාංගීකරණය කිරීමට මෙන්ම, කලාපීය සහ ගෝලීය සැපයුම් දාම වල සහභාගීත්වය ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව විසින් එකී ගිවිසුමට සම්බන්ධ වීම සඳහා අභිප්‍රාය ලිපියක් 2023-06-28 දින ඉදිරිපත් කර තිබේ. 

අයැදුම්කරුවන් විසින් ගිවිසුමේ අඩංගු සියලු විධිවිධාන සහ නීතිරීති වලට අනුකූල වන බව සහ ඔවුන්ගේ සූදානම මෙන්ම, ගිවිසුමෙහි අභිලාෂයන්ට අනුකූලව වාණිජමය වශයෙන් අර්ථවත් වෙළෙඳ පොළ ප්‍රවේශයක් ලබා දීමට ඇති සුදානම තක්සේරු කිරීම සඳහා මූලික තොරතුරු රැස් කිරීම පිණිස 2025-10-24 වන දින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් වෙත මූලික ප්‍රශ්නාවලියක් නිකුත් කර ඇති අතර, 2026-01-25 වන දිනට පෙර එම ප්‍රශ්නාවලිය සම්පූර්ණ කළ යුතු වේ. ඒ අනුව, කලාපීය විස්තීරණ ආර්ථීක හවුල්කාරිත්වය සමඟ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සඳහාත්, අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති මූලික ප්‍රශ්නාවලිය සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම සඳහාත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.