ලංකාව ගැන වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයට


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ ක‍්‍රියාකාරී කමිටුව විසින් ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අනුගමනය කළ යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ සභාගත කර ඇතැයි ජිනීවා හි තානාපති ආරංචි කියයි

පිටු 22 කින් සමන්විත මෙම වාර්තාව අද (13)   ඇරඹි මානව හිමිකම් කවුන්සිලයේ 33 වැනි මහ සභා සැසිවාරයේ න්‍යාය පත‍්‍රයේ තුන්වැනි අයිතමය ලෙස සභාගත වී ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාව නිකුත් කරමින් එම කමිටුව විසින් බලහත්කාරයෙන් අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සෙවීම සඳහා ජාත්‍යන්තර නියෝජනය සහිත අධිකරණ ව්‍යහුයක් බිහි කිරීම ඇතුළු නිර්දේශ නමයක් එමඟින් ඉදිරිපත් කොට ඇත.

එමෙන්ම අතුරුදන් පුද්ගලයින් සෙවීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර ඉතා සාධනීය මට්ටමක පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ ක‍්‍රියාකාරී කමිටුව සිය වාර්තාව මඟින් ප‍්‍රසාදය පළ කර ඇතැයි ද කියති.

රජය විසින් අතුරුදන් වූවන්ගේ කාර්යාල පිහිටුවීමට අදාළ පනත ගෙන ඒමට  ක‍්‍රියාකිරීම පිළිබඳව මෙම වාර්තාව ඔස්සේ විශේෂ ඇගයීමක්  කර ඇති අතර මෙරට   සිවිල් සංවිධාන , මානව අයිතීන් ආරක්ෂා කිරීමේ ආයතන වල  ක‍්‍රියාකාරීත්වය ද මෙහිදී ඇගයීමකට ලක් කර ඇති අතර අගතියට පත් පාර්ශවයන් සමඟ කතිකාවක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවද පෙන්වා දී ඇත.