ලංකාව කාලගුණ ආපදා වැඩි රටක් ලෙස හඳුනාගනී


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ජාතික දේශගුණික මූල්‍ය උපාය මාර්ගය (2025-2030)ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආපදාකාරී කාලගුණික සිදුවීම් වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් සහිත රටක් වශයෙන් ශ්‍රී ලංකාව ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය මඟින් හඳුනාගෙන ඇත.

දේශගුණික විපර්යාස වල අහිතකර බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් වාර්ෂිකව 2%කට වඩා අහිමි වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. 

එබැවින්, දේශගුණික ප්‍රතිරෝධී යටිතල පහසුකම් ගොඩ නැගීම සඳහා, ඇමෙරිකා ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වාර්ෂිකව රජය විසින් ආයෝජනය කළ යුතු බව ඇස්තමේන්තු කර ඇත. 

දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් පමණ වන එම පිරිවැය දැරීමට ජාතික අයවැයට හැකියාවක් නොමැත. එබැවින්, දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය සඳහා ආර්ථිකයේ විවිධ අංශ විශේෂයෙන්ම, පුනර්ජනනීය බල ශක්තිය, කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ දේශගුණික - ප්‍රතිරෝධී යටිතල පහසුකම් ඔස්සේ සැලකිය යුතු ආයෝජනයක් සිදු කළ යුතුව ඇත.

 ඒ සඳහා සාම්ප්‍රදායික අයවැය මූල්‍ය කරණයෙන් ඔබ්බට අරමුදල් රැස් කිරීමට හැකි වන පරිදි වඩාත් ව්‍යුහගත සහ විධිමත් ප්‍රවේශයක් හඳුන්වා දීම මඟින් දේශගුණික ප්‍රතිරෝධී සහ අඩු කාබන් අංශ වෙත පෞද්ගලික ප්‍රාග්ධනය රැස් කරනු ලබන හරිත ආයෝජන ආකර්ෂණය කර ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

 එවැනි ප්‍රවේශයක් ජාතික දේශගුණික ප්‍රමුඛතා සඳහා සහාය වන අතරම ශ්‍රී ලංකාව එහි ජාත්‍යන්තර දේශගුණික බැඳීම් සඳහා වන කැපවීම තහවුරු කරනු ලබයි. එම කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, පරිසර අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන 35 ක දායකත්වයෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ සහයෝගයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් " ශ්‍රී ලංකා ජාතික දේශගුණික මූල්‍ය උපාය මාර්ගය (2025-2030)'' සකස් කරනු ලැබ ඇත. 

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික දේශගුණික මූල්‍ය උපාය මාර්ගය (2025-2030) ප්‍රකාශයට පත් කිරීමටත්, ඉන් අනතුරුව, එකී මූල්‍ය උපාය මාර්ග ප්‍රවර්ධනය කරමින්, ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.