‘‘අපි මාස දෙකකුත් දින පහක් මුහුදේ හිටියා. බෝට්ටුව කැඩී යන එන මං නැතිව අතරමං වෙලා හිටියා. මැරෙන මැරෙන එක්කෙනා අපි මුහුදට දැම්මා. 130 දෙනාගෙන් ඉතුරුවුණේ 32 යි. 98 දෙනෙක් මුහුදට දැම්මා. ‘‘ මුහුදේ අතරමංව සිටියදී නාවික හමුදාවෙන් බේරාගත් මියන්මාර් ජාතිකයන් අතර සිටි මාවුර් ෂිෆ් එසේ කිවේය.
ගාල්ල ඉහළ ඩික්සන් පාර ඥානෝභාස ආරණ්‍ය සේනාසනාධිපති මාලිගාවිල අස්සජි හිමියෝ බුරුම බස සිංහලයට පරිවර්තනය කළහ.
මුහුදු සැතපුම් 240 ක් ඈතින් සහ ගාල්ලේ සිට මුහුදු සැතපුම් 360 ක් ඈත මුහුදේ අතරමංව සිටියදී සෙනසුරාදා (16) දවල් නාවික හමුදාව ඔවුන් බේරාගත්තේය. බේරාගන්නා අවස්ථාවේ අවුරුදු 12 ක සහ 15 ක පිරිමි ළමයින් දෙදෙනකු ඇතුළු 32 දෙනෙක් බෝට්ටුවේ සිටියහ. සියළු දෙනාම කරාපිටිය රෝහලට ඇතළත් කරනු ලැබූහ. ඉන් හයදෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ෂිෆ් වැඩිදුරටත් කීවේය.
‘‘අපි මුලින්ම මැලේසියාවේ යන්න කියලා බෝට්ටුවේ ආවේ. මැලේසියාවට ඇතුළු වීමට නොහැකි වූ විට අපි ඕස්ට්‍රේලියාවට යන්න ගියා. බෝට්ටුව අරගෙන ගියපු කණ්ඩායමට නායකත්වය දුන් දෙන්නෙකුත් හිටියා. ඒ දෙන්නාත් මඟදී මියගියා. මිය යන යන අය මුහුදට දැම්මා. අපිට කෑම තිබුණේ දවස් 25 ට විතරයි. මගදී කට්ටියක් අපේ බෝට්ටුවට ගොඩවෙලා කෑම පැහැර ගත්තා. පස්සේ කන්න නැතිව මස් කෑවා‘‘
ඔවුන් ආහාරයට ගත්තේ කුමන මස් වර්ගයක්දැයි විමසූ විට ඔහු කිසිවක් කීවේ නැත.
නාවුක හමුදාව පවසන්නේ පසුගිය 15 දා බහුදින ධීවර යාත්‍රාවකින් ලැබුණු තොරතුරකට අනුව ගාල්ල දක්ෂිණ නාවික කඳවුරෙන් සාගර නැව ඔවුන් බේරාගැනීමට ගිය බවයි. පසුගිය සෙනසුරාදා (16) දවල් 12.30 ට පමණ දැවයෙන් තැනූ කුඩා බෝට්ටුවක අතරමංවී සිටි මෙම පිරිස බේරාගන්නා විට ඔවුන්ගේ බෝට්ටුව ගිලීයාමට ඉතාමත්ම ආසන්නව තිබිණි.
පැය කිහිපයක් වෙහෙසවීමෙන් පසු එම පිරිස නැවට නංවාගන්නා විට සවස 3.00 ට ආසන්න වූ බවත් ඒ වනවිටත් බොහෝ දෙනකු මිය ගිය ආකාරයෙන් බෝට්ටුවේ වැතිර සිටි බවත් නාවික හමුදාව පවසයි.
සාගර නැවේ කපිතාන් සෙනරත් විජේසුරිය මහතා මෙසේ කීය.
‘‘ ඔවුන් බත් වැනි ද්‍රව්‍යයක් පිස තිබුණා. නමුත් ඒවා ආහාරයට ගැනීමට නොහැකියි. මැරුණු අය මුහුදට දැම්මා කියා මොවුන් කියනවා. නමුත් ඔවුන් හිටපු ආකාරයට මැරුණා යැයි සිතා නොමැරුණු අයත් ඇතැම් විට මුහුදට දැම්මා විය හැකියි. අපේ නැවේ සිටි වෛද්‍යවරයා හදිසි ප්‍රතිකාර දෙමින් ඔවුන් ගාල්ලට ගෙන ආවා. එදින අපිට මේ බෝට්ටුව සොයා ගැනීමට නොහැකි වූවානම් තවත් පැය කිහිපයකින් එය මුහුදේ ගිලී ගොස් සියළු දෙනාගේම ජීවිත නැතිවීමට ඉඩ තිබුණා‘‘
නාවික හමුදාව පවසන්නේ ඔවුන් ගමන් කළ බෝට්ටුව දැවයෙන් තනා භූමිතෙල් එන්ජිමක් භාවිතා කළ යාත්‍රාවක් බවයි. එවැනි එන්ජිමක් භාවිතා කරමින් මෙවැනි විශාල පිරිසකගේ බර දරාගෙන එම යාත්‍රාවට ගැඹුරු මුහුදේ ගමන් කළ නොහැකි බව ද නාවික හමුදාව පවසයි.
‘සාගර‘ නෞකාව ගාල්ල වරායට සේන්දු වන විටත් කරාපිටිය රෝහලෙන් ගිලන්රථ හයක් එහි එවා තිබිණි. වරායට නෞකාව පැමිණි වහාම රෝහල් සේවක සේවිකාවන්ට සහ මාධ්‍යවේදීන්ට එහි ගොඩවීමට අවසර ලැබිණි. නැවේ එක් කොටසක් හාන්සි කැර සිටි රෝගීන් බොහෝ දෙනක් ඒ වනවිටත් සේලයින් ලබමින් සිටියාය. එකිනෙකාට අංක යොදා තිබිණි. අසාධ්‍ය රෝගීන් හැකි ඉක්මණින් ගිලන් මැසිවල තබා නැවෙන් බිමට ගෙන රෝහලට ඉක්මණින්ම යවනු ලැබුහ. ඇවදීමට හැකියාව තිබූ රෝගීන් නාවික නිලධරයෝ විසින් වත්තම්කර ගනිමින් නැවෙන් පහළට ගෙනවිත් රෝහලට යැවීමට යුහුසුළුව කටයුතු කළහ.
කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ද රෝගීන් 32 සඳහා සියළු පහසුකම් සූදානම් කැර තිබූ අතර රෝහලට ගෙන ආ වහාම වෛද්‍යවරු ඔවුන්ට ප්‍රතිකාර ආරම්භ කළහ.
මාළිගාවිල අස්සජි හිමියන් බුරුම භාෂාවෙන් ඔවුන් හා කතා කරමින් අනාවරණය කැරගත් තොරතුරු අනුව මෙලෙස ඕස්ට්‍රේලියාව බලා ගමන්කැර ඇත්තේ බංගලාදේශයත් මියන්මාරයත් අතර දේශසීමාවේ පදිංචි මුස්ලිම් ජාතිකයන් 130 දෙනෙකි. ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ මලයාසියාවට ඇතුළු වීමයි. ඒ සඳහා බුරුමයේ භාවිත මුදලින් පනස් දහසක් සහ ලක්ෂයක් බැගින් ගෙවූ බව ද ඔවුහු පවසා තිබේ.
අස්සජි හිමියෝ මෙසේ ද කීහ.
‘‘ඔවුන් කියනවා තමන්ගේ රටේ ඉන්න බැරි නිසා මේ විදියට මැලේසියාවට යන්න පිටත් වූ බව. රටේ හුගාක් දුක් විදින්න වෙනවා කියා කියනවා. ඒ නිසා මියයාමත් සැපක් කියලා තමයි ඔවුන් පවසන්නේ. ලංකාවේ නාවික හමුදාව පැමිණි වෙලාවේ ලොකු බයක් දැනුනා කියලත් කීවා. නමුත් නාවික හමුදාව ඉතාමත්ම හොඳින් තමන්ට සැළකූ බවත් නොසිතූ ලෙස ලංකාවෙන් තමන් බේරාගැනීම ගැන දැන් සතුටු වන බවත් ඔවුන් පවසනවා. ඒ වගේම ශ්‍රී ලංකාව ඉතා හොඳ රටක් කියලත් ඔවුන් කියනවා.‘‘
පොලීසිය පවසන්නේ අස්සජි හිමියන්ගේ සහය ඇතිව ඔවුන් සමග සාකච්ඡා කිරීමට උත්සාහ ගත්ත ද එම පිරිසේ බොහෝ දෙනකුට බුරුම භාෂාව ද තේරුම්ගත නොහැකි බවයි. දෙතුන් දෙනෙකුට බුරුම භාෂාව යම් පමණකින් තේරුම්ගැනීමේ හැකියාව ඇතත් ඔවුන් එකිනෙකා වරින් වර පවසන කරුණුවල පරස්පරතාවක් තිඛෙන බව ද අස්සජි හිමියෝද කියති.
කණ්ඩායමේ සියළුම දෙනා මුස්ලිම් ජාතිකයන්යැයි පැවසූ බැවින් මුස්ලිම් ජාතිකයකුගේ සහය ලබාගෙන කතා කිරීමට උත්සාහ ගත්ත ද ඔවුන් කිසිවෙකුට අරාබි භාෂාව ද කතා කිරීමට හැකියාවක් නැත.
විටෙක තමන් සමග සිටි 98 දෙනකු මියගිය බව පවසන අතර තවත් විටෙක පවසන්නේ 95 දෙනකු මියගිය බවයි. අස්සජි හිමියන් සමග කථා කළ මාවුර් ෂිෆ් වරක් පවසා සිටියේ තම කණ්ඩායම රැගෙන ආ පුද්ගලයන් දෙදෙනා මියගොස් මුහුදට දැමූ බවයි. නමුත් යළිත් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ එම දෙදෙනා මුහුද මැදදී පැන ගිය බවයි. පැනගිය ආකාරය ඔහු පැහැදිලි කරන්නේ නැත.
කෑම අවසන් වූ බව අයෙකු පවසා සිටිය ද තවත් අයකු කියන්නේ බෝට්ටුවකින් පැමිණි පිරිසක් තමන්ට පහරදී ආහාර ද්‍රව්‍ය පැහැරගත් බවයි.
මේ අතර තංගල්ලේ ධීවර යාත්‍රාවකින් මුහුදේ පාවෙමින් සිටි අයකු බේරාගෙන ඇති බවත් ඔහු මෙම කණ්ඩායමට ඇතුලත් අයකුදැයි විමසූ විට පවසන්නේ මුහුදට දැමුවේ මියගිය අය පමණක් බවයි.
ගාල්ල වරාය පොලීසිය පරීක්ෂණ පවත්වයි.