ලංකාව, කොරියාව යළි ගුවනින් එක් වෙයි


වසර  තිහකට පමණ  පසු  කොරියන් ජාතික ගුවන් සේවය, කොරියාවේ  සෝල් නුවර සහ  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත සෘජු  ගුවන් ගමන් අද ඇරැඹීය.

මගීන් 276 දෙනෙකුට ගමන් කළ හැකි කොරියා ගුවන්සේවයට අයත් ඒ 330-300  වර්ගයේ ගුවන් යානයක් කටුනායක  ගුවන් තොටුපොළේ සිට සිය මංගල ගුවන් ගමන කොරියාවේ  සෝල් නුවර වෙත  අද සවස හයයි තිහට පිටත්ව ගියේය. ගුවන් ගමනට ගත වන කාලය පැය අටකි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ,  සිවිල් ගුවන්සේවා අමැති ප්‍රියංකර ජයරත්න සහ ගුවන් තොටුපොළ සහ ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය  මහත්වරු  විසින් මංගල ගුවන්ගමන පිටත්වීමට පෙර  ගුවන් නියමු කපිතාන් ලී ජිඔන් චෝල් ඇතුලූ කාර්ය මණ්ඩලය මල් දම් පළදවා පිළිගත්හ.

1970 දශකයේ  ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වුවද  ලොව පුරා ගුවන් ක්ෂේත්‍ර  වල පැවති ආර්ථික කඩා වැටීම  හේතුවෙන් එය නතර කර ඇත.

කොරියන් ගුවන් සේවය ඉරිදා  අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා කොළඹ සිට සෝල් නුවර වෙතත් ,  සෙනසුරාදා  සඳුදා සහ බදාදා සෝල් නුවර සිට කොළඹ වෙතත් සිය ගුවන් ගමන්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙයි.
 
නැවත  ආරම්භ වූ   නව ගුවන් සේවාව මගින් ශ්‍රී ලංකාවත් කොරියාවත්  අතර සම්බන්ධතාවය වර්ධනය  කිරීමට බලාපොරොත්තු වන බවත්,  එය ශ්‍රී ලංකාවේ  සංචාරක කර්මාන්තයට   රුකුලක් වනු ඇති බවත් කොරියානු ගුවන් සේවයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත මෙන්ඩිස් මහතා කියයි.