ලංකාදීපය නිසා තවත් පාසලකට ගොඩනැගිල්ලක්


ගලේවෙල කොස්ගහහින්න ප්‍රාථමික විද්‍යාලයයේ තාවකාලික මඩුවක ඉගෙනගත් දරුවන්ටද රුපියල් ලක්ෂ තිස්පහක ගොඩනැගිල්ලක් ලබා දීමට  නෙදර්ලන්තයේ පිකාස් පොන් පදනම තීරණය කළේය.

 ලංකාදීප එසැණ වෙබ් අඩවියේ හා ලංකාදීප පුවත් පතේ මේ පුවත දුටු  එම සංවිධානය මේ සත්කාරයට ඉදිරිපත් විය.

පසුගියදා ලංකාදීප පුවත්පත හා  එසැණ පුවත් වෙබ් අඩවිය මින් ගලේවෙල පහළ දිග්ගල පාසලේ පොල්අතු මඩුවක අකුරු කරන දරුවන් පිළිබඳ පුවත දැක නෙදර්ලන්ත පිකාස් පොන් පදනමේ සභාපතිවරයා වන පීටර් මැන්ඩලා සහ ශ්‍රී ලංකා නියෝජිතවරියක වු  අලීෂා අබේවික්‍රම අඟහරුවාදා (15) ගලේවෙල  පහල දිග්ගල්ල  පාසලේ ගොඩනැගිල්ල ඉදිකැර දිමට පැමිණි අතර එම අය පැමිණෙන විට එම පාසලේ  ගොඩනැගිල්ල  ඉරාණයේ ශ්‍රී ලංකා තානිපති මැදිහත් වීමෙන් ඉදි කරමින් පැවැතිණි.

පසුව එම පිරිස ගලේවෙල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී දුමින් ද බණ්ඩාරනායක මහතාට කතා කර  දිළිදු පාසලක්  සොයා දෙන්නැයි  ඉල්ලීමක් කළහ.

ඒ අනුව කොස්ගහහින්න පාසලට පිරිස කැඳවාගෙන යද්දී එහිද දැක ගැනීමට හැකි වුයේ  පොල්අතු හා සාරී වලින් වට කළ තාවකාලික ගොඩනැගිල්ලක අකුරු කරන දරුවන් පිරිසකි.

එය දුටු නෙදර්ලන්ත ජාතික පීටර් මැන්ඩලා මහතා විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් සමඟ සමීප වී සාකච්ඡා කැර  විවේකාගාරයක් කාර්යාලයයක් හා දරුවන්ට ගොඩනැගිල්ලක් ඉදි කැර දීමට පොරොන්දු විය.

එමෙන්ම නෙදර්ලන්ත ජාතිකයා මෙහිදී ලංකාදීප එසැණ වෙබ් අඩවියට විශේෂ ස්තූතියක් ප්‍රකාශ කරන බව පැවසීය.

එසැණින් මේ පාසල් පිළිබඳ පුවත හෙළිදරව් නොවන්නට කිසිදු අවධානයක් නොවන බවද ඔහු කීහ.

 කොස්ගහහින්න  ප්‍රාථමික විදුහලේ  දුරුවන් 95 ක් ඉගෙන ගන්නා අතර ගුරුවරුන්  හත් දෙනකු සේවය කරති.

විදුහල්පති ඒජී නිමල් ශාන්ත මහතා කීවේ මෙම  ප්‍රදේශයේ ජනතාව දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පිරිසක් විදුහලට එක් ගොඩනැගිල්ලක් ඇති බවත්  තාවකාලික ගොඩනැගිල්ලක්  මව්පියන් විසින් සෑදු බවත්ය.

81 82 83 85 86 87 88