ලංකාදීප මාධ්‍යවේදියාට ගසා කැමරාවත් කඩයි


හාලි ඇළ පොලිස් මුරපොළ ඉදිරියේදී  සඳුදා (22) එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමක් වාර්තා කර ආපසු නිවසට යමින් සිටි ලංකාදීප ඇටම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතා ට පහර දී ඇත.

ඒ මහතා පවසන්නේ තමන් ත්‍රිරෝද රියකින් නිවස බලා යමින් සිටිය දී එම රථය නතර කළ පිරිසක් තමන්ට පහරදී තුවාල සිදුකැර කැමරාව ද කඩා දැමූ බවයි.

බදුල්ල රෝහලට ඇතුළත් වූ කුරුප්පුආරච්චි මහතා වැඩිදුර ප්‍රිතිකාර ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණ සිටියි.

ඔහු   මෙසේ ද කීවේය.

‘හාලිඇළ නගරයේ ඇතිවූ ගැටුම ආවරණය කර අවසන් වී මා ආපසු යමින් සිටියා. මේ වෙලාවේ කට්ටියක් කෑ ගහගෙන මා ගමන් කළ ත්‍රීරෝද රථය දෙසට පැමිණියා. ඔවුන් කෑ ගසා කීවා මූ තමයි ෆොටෝ ගත්තේ ඇදලා ගනින් කියලා. එක්කෙනෙක් ලොකු පොල්ලකින් ත්‍රීරෝද රියේ වීදුරුව කැඩුවා. තවත් පිරිසක් මා ඇදලා අරගෙන පහර දුන්නා. කැමරාවත් කඩා දැමුවා.

තුවාල ලැබූ කුරුප්පුආරච්චි මහතා රෝහල්ගත කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ ඔහු හමුවී කතා කළ බවත් එසේ වුව ද රෝහල් පොලීසියෙන් කිසිවක් සටහන් කරනොගත් බවත් හෙතෙම පවසයි.

මුහුණට හානි සිදුව ඇති බැවින් එම් ආර් අයි  ස්කෑන් පරීක්ෂණයක් කරගැනීමේ හදිසි අවශ්‍යතාව මත තමන් පෞගලික රෝහලකට පැමිණි බව ද කුරුප්පුආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.