ලංකා පොලිසියට ඉන්දියාවෙන් වාහන


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොලීසියේ වාහන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් ලබා දෙනු ලබන මූල්‍ය ප්‍රදානය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ වාහන අවශ්‍යතාව සපුරාලීම සඳහා සහාය ලබා දීමක් ලෙස ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක මුදල් ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. 

එම ප්‍රදානය භාවිත කරමින් උතුරු පළාතේ පොලිස් ස්ථාන වල රාජකාරි අවශ්‍යතා සඳහා කැබ් රථ ලබා දීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.