ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පිටත්වීමට සුදානම් වන චාර්ල්ස් කුමරුන් සහ කැමිලා කොන්වෝල් ආදිපාදවරියට සුබපැතීමට සංවිධානය කර තිබුණු උත්සවය මංගල භේරි වාදනයක් මඟින් ඔප්නැංවීමට සංවිධායකවරු කටයුතු කර තිබිණි.
මෙම අවස්ථාව සඳහා ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ජාතිකයෝද ආරාධනා ලදහ.
උත්සවය පවත්වන ලද්දේ බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් ලන්ඩන් නුවර පැරණිම රජ මාලිගය වන ශාන්ත ජේම්ස් රජමැදුරේදිය.
ශාන්ත ජේම්ස් රජමැදුර අදටත් රාජකීය ප්‍රිය සම්භාසන සහ උත්සව පැවැත්වීම සඳහා යොදා ගැණේ.
නර්තන අංග ඉදිරිපත්කරන ලද්දේ ප්‍රවීණ නර්තන ශිල්පියෙකු සහ නැටුම් ගුරුවරයකු ලෙස ලන්ඩන් නුවර කටයුතු කරන ඒ.පී.අත්තනායක විසිනි. දක්ෂ නර්තන ශිල්පියෙකු වන අරුණ ශාන්ත මේ සඳහා ඔහුට සහාය විය.
උත්සවය සඳහා ශ්‍රී ලාංකික භේරි වාදන අංගයක් ඇතුළත් කිරීම සුදුසු බවට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් ලද ඇරයුමක් අනුව අවශ්‍ය ශිල්පින් සපයන ලද්දේ කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන් විසිනි.
උත්සව සභාවට චාල්ස් කුමරු සහ එම ආර්යාව කැඳවාගෙන යනු ලැබුවේ ශ්‍රී ලාංකික භේරි වාදන කණ්ඩායම විසිනි.
එම ප්‍රිය සම්භාසනය සඳහා මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නොනිස්ද සහභාගී විය.
උත්සවය අතරවාරයේ එම රංගන ශිල්පින්වෙත පැමිණි චාර්ල්ස් කුමරු සහ කැමිලා ආර්යාව ඔවුන් දැක්වූ දක්ෂතාවය පිළිබඳ ප්‍රසාදය පළකළහ.
කොළඹදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව සඳහා බ්‍රිතාන්‍ය එලිසබත් මහා රැජින නියෝජනය කරමින් චාර්ල්ස් කුමරුන් සහභාගිවීමට නියමිතය.